June 18, 2026

මෙවර 2026 ෆිෆා (FIFA) ලෝක කුසලාන තරඟාවලිය නරඹන ඔබට එක පිට්ටනියක ක්‍රීඩකයෝ කීපදෙනෙක්ම එකම විදියේ ‘තද රෝස පාට’ සපත්තු (Football Boots) දාලා ඉන්නවා අනිවාර්යයෙන්ම ඇහැට ගැටෙන්න ඇති. හැම තරඟයකදීම වගේ දකින්න ලැබෙන මේ රෝස පාට සපත්තු රැල්ල නිකම්ම සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි, මේක ලෝකප්‍රකට ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගම්වල ප්ලෑන් එකක්.

Nike, Adidas සහ Puma වගේ ලෝකේ ලොකුම සන්නාම එකතු වෙලා මෙවර ලෝක කුසලානය වෙනුවෙන්ම මේ රෝස පාට සපත්තු එකතුව හඳුන්වා දීලා තියෙනවා. Nike සමාගමේ උසස් නිලධාරියෙක් වන ඔඩින්ගා නිමාකෝ පවසන විදියට, ක්‍රීඩකයෝ තද සහ දීප්තිමත් පාටවල් අඳිනකොට ඔවුන්ගේ ‘ආත්ම විශ්වාසය’ ගොඩක් වැඩි වෙනවා කියලා පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවලු.

ඒ වගේම, කොළ පාට තණකොළ පිට්ටනියක් උඩ කැපිලා පේන්නම ගැලපෙන පාට රෝස පාටයි. මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කරන රටවල් 48 න් එකම රටකවත් ජර්සි රෝස පාට නැති නිසා, මේ සපත්තු ටීවී එකෙන් බලන අයට විතරක් නෙවෙයි ස්ටේඩියම් එකේ ඉන්න අයටත් මාරම ලස්සනට කැපිලා පේනවා.

හැමෝම රෝස පාටින් හැඩවෙද්දී, පාපන්දු ලෝකයේ සුපිරි තරු දෙකක් වන ලියොනෙල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නම් මේ ට්‍රෙන්ඩ් එකට අහුවෙලා නැහැ.

හැමෝම රෝස පාට දාද්දී මෙසී ක්‍රීඩා කරන්නේ එයාටම විතරක් විශේෂයෙන් හදපු නිල් සහ සුදු මිශ්‍ර Adidas සපත්තුවකින්.

පෘතුගාලයේ පළමු තරඟයේදීම රොනාල්ඩෝ පිට්ටනියට ආවේ රන් වර්ණයෙන් දිලිසෙන, එයාටම වෙන්වුණු විශේෂ සපත්තු යුගලක් දාගෙනයි.

කොහොමවුණත්, සෙල්ලම් කරන හැම මැච් එකකම වගේ දකින්න ලැබෙන මේ රෝස පාට සපත්තු රැල්ල, මෙවර 2026 ලෝක කුසලානයේ දෘශ්‍යමාන කැපීපෙනෙනම සහ රසවත්ම මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා.