July 22, 2026

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍යවරයකුගේ පුතෙකු ඇතුළු පස්දෙනකු පෙරේදා (20) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට හතරැස්කොටුව පොලීසිය සමත්වී තිබේ.

හතරැස්කොටුව පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.ඩබ්ලිව්.එම්. උපාලි හේරත්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව රාත්‍රී 9.00 ට පමණ මෙම වැටළීම සිදුකර ඇත.

සිද්ධිය වූ ස්ථානයේ සිටි හිටපු අමාත්‍යවරයාගේ පුතු එම ස්ථානයට පැමිණි ටොයෝටා වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇත.

සිහිනයකින් දුටු බව කියන මෙම මැණික් නිධානය ලබාගැනීම සඳහා කපුවකුගේ මූලිකත්වයෙන් ගුරුකම් හා පුද පූජා පවත්වමින් අඩි 10 ක පමණ ගැඹුරු වළක් හාරා තිබූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර කපුවා ඇතුළු කැණීම්වලට සම්බන්ධ තවත් පුද්ගලයන් තිදෙනකු වන අතර, කැණීම් සඳහා යොදාගත් උපකරණ තොගයක්ද පොලීසිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් ඊයේ (21) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට හතරැස්කොටුව පොලීසිය පියවර ගත්තේය.