July 5, 2026

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ මාරක රිය අනතුරු 05කින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

සෙනසුරාදා සිදුවූ මෙම අනතුරුවලින් තවත් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

කෝපායි, යාපනය – පේදුරුතුඩුව මාර්ගයේදී 72 හැවිරිදි පාපැදිකරුවෙකු පසුපසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ද රෝහල්ගත කර තිබේ.

කැකිරාව – යකල්ල මාර්ගයේදී යතුරුපැදියක ගැටීමෙන් 47 හැවිරිදි පදිකයෙකු මියගොස් ඇත. මෙහිදී තුවාල ලැබූ යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇත.

වේයන්ගොඩ, බණ්ඩාරනායක මාවතේදී 70 හැවිරිදි පදිකයෙකු යතුරුපැදියක ගැටී ඇති අතර, අනතුරුව පාලනය කරගත නොහැකි වූ යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ද ගැටී ඇත. බරපතළ තුවාල ලැබූ පදිකයා රෝහලේදී මියගොස් ඇති අතර, තුවාල ලැබූ යතුරුපැදිකරු ද රෝහල්ගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

තණමල්විල – උඩවලව ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු යන දෙදෙනාම මියගොස් ඇත. වයස අවුරුදු 47ක් සහ 63ක් වූ මොවුන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව, හික්කඩුව ප්‍රදේශයේදී ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය හරහා මාරු වෙමින් සිටි 72 හැවිරිදි පදිකයෙකු ලොරි රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සියලුම අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.