May 29, 2026

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු බොරතෙල් තොගයක් ඊයේ (28) දිවයිනට ළඟා වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර ප්‍රකාශකර තිබේ.

ඉදිරියේදී සිදු වීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය මධ්‍යයේ වුවද, මෙමඟින් රටේ සමස්ත ඉන්ධන සැපයුම ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකි වනු ඇතැයි ඔහු සඳහන් කළේය.

ට්‍රම්ප් පරිපාලනය යටතේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවැති තීරුබදු සාකච්ඡාවලදී, දෙරට අතර පවතින වෙළඳ පරතරය අවම කිරීමේ පියවරක් ලෙස, ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් කැඳවීම් සඳහා ඇමරිකානු WTI බොරතෙල් ද ඇතුළත් කිරීමට ශ්‍රී ලංකාව මීට පෙර තීරණය කර තිබිණි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර පවසන්නේ සංස්ථාව විසින් ඇණවුම් කරන ලද WTI බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000ක තොගය මේ වන විට දිවයිනට පැමිණ ඇති බවයි.

රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමේ සැලසුම් සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ කෙටි කාලීනව එවැනි අවශ්‍යතාවක් මතු නොවන බවයි.

“අප සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග සුරක්ෂිතව පවතිනවා. රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් අප මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නැහැ. කොහොම වුණත්, කෙටි කාලීනව දැන් එහි අවශ්‍යතාවක් නැහැ” යැයි ඔහු පැවසීය.

දැනටමත් මුහුදේ රඳවා ඇති රුසියානු නැව්වලින් තෙල් මිලදී ගැනීම සඳහා ඇමරිකාව විසින් ඇතැම් රටවලට පනවා තිබූ සම්බාධක ලිහිල් කර තිබිණි.

මේ අතර, ඉදිරියේදී සිදුවීමට නියමිත මිල සංශෝධනය පිළිබඳ අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ඒ පිළිබඳ අවසන් තීරණය අද (29) දින ගැනීමට නියමිත බවයි.

මෙම මිල සංශෝධනය සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් පිරිවැය පරාවර්තනය වන ආකාරයෙන් සිදුවන්නේද යන්න පිළිබඳව ද අද දිනය තුළදීම තීරණය කෙරෙනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.