July 22, 2026

හෝමාගම, කටුවන කාර්මික වතුපිටියේ පිහිටි හෙල්මට් (ආරක්ෂිත හිස්වැසුම්) නිෂ්පාදන කර්මාන්තශාලාවක ඇති වූ හදිසි ගිනිගැනීමකින් ජීවිතක්ෂයට පත් වූ සේවකයන් පස්දෙනාගේ අනන්‍යතාව නිල වශයෙන් තහවුරු කරගැනීම සඳහා බලධාරීන් විසින් DNA පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ (21) කර්මාන්තශාලාව තුළ සේවකයන් 80 දෙනෙකු පමණ සිටි අවස්ථාවේදී මෙම ගිනිගැනීම හටගෙන ඇති අතර, එහිදී සිදුවූ අනතුරින් පස්දෙනකු ජීවිතක්ෂයට පත්විය.

ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සිරවීම හේතුවෙන් ලත් බරපතල පිළිස්සුම් තුවාල නිසා මොවුන් මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ සචිත් දිල්ෂාන්, දිලීප් දිලංක, සහන් උදාර, මාරියෝ එඩ්වඩ් සහ බී. දමයන්ති යන අය ලෙස හඳුනාගෙන තිබේ.

කෙසේවෙතත්, සිරුරු දැඩි ලෙස පිළිස්සී තිබීම හේතුවෙන් ඔවුන්ගේ අනන්‍යතාව නිශ්චිතව තහවුරු කරගැනීමට මෙලෙස DNA පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන ඇත.

අනන්‍යතාව තහවුරු කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය DNA සාම්පල ලබාදීම සඳහා මියගිය අයගේ ඥාතීන් හෝමාගම මූලික රෝහල වෙත පැමිණ ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය මගින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර, ගින්න හටගැනීමට හේතුව සෙවීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.