June 4, 2026

හොරණ, ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක ඊයේ (03) සවස ගින්න හටගන්නා අවස්ථාවේදී එම නිවාසයේ වැඩිහිටියන් 72 දෙනෙකු රැඳී සිටි බව පොලිස් වාර්තා සඳහන් කරයි.

ගින්නෙන් පසු පුද්ගලයන් 11 දෙනකු අතුරුදන්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කළ අතර, සිදුකළ සෙවීම් මෙහෙයුම්වලදී පිළිස්සුණු මළසිරුරු නවයක් පරිශ්‍රය තුළ තිබී මේ වන විටත් සොයාගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.

ගින්න පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ ගිනි නිවන භටයන්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් දැඩි වෙහෙසක් දරා ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබේ.

අනතුරෙන් කිසිදු තුවාලයක් සිදු නොවූ 44 දෙනෙකු බේරාගැනීමට පොලිසිය සහ සහන කණ්ඩායම් සමත්ව ඇති අතර, පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයන් 8 දෙනෙකු ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, හොරණ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.