February 18, 2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන හිටපු ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන අංශය හමුවේ පෙනීසිටින ලෙස නොතීසි නිකුත්කර තිබේ.

හිටපු ජනාධිපති වික්‍රමසිංහට එරෙහි නඩුව අද කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේය.

2023 අගභාගයේදී ලන්ඩනයේ පැවති මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජන මුදල් රුපියල් මිලියන 16.9 ක් පමණ අවභාවිත කළ බවට නඩුවේ චෝදනා එල්ල වී තිබේ.

සංචාරය සඳහා අරමුදල් අනුමත කිරීමෙන් රාජ්‍ය අරමුදල් අවභාවිතයට සහාය දැක්වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කරන ලදී.