June 6, 2026

පාකිස්ථානයේ ක්වෙටා දිස්ත්‍රික් සිවිල් රෝහලේ සේවය කරන වෛද්‍යවරියක වෙත එම රෝහලේම සේවකයෙකු විසින් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් ඇය බරපතළ තුවාල ලබා ඇති බව එරට පොලිසිය පවසයි.

සිවිල් රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් වෛද්‍යවරියගේ මුහුණ, පපුව, පාද ඇතුළු ශරීරයේ බොහෝ කොටස්වලට බරපතළ පිළිස්සුම් තුවාල සිදුව ඇති බවයි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඇගේ ශරීරයෙන් 70%කට පමණ ප්‍රහාරයෙන් හානි සිදුව ඇත.

රෝහලෙන් ලබාදුන් මූලික ප්‍රතිකාරවලින් අනතුරුව ඇය වහාම පෞද්ගලික රෝහලක් වෙත මාරු කර යවා ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් ගිලන් රථයක් මඟින් කරච්චි නුවර වෙත රැගෙන යාමට කටයුතු සූදානම් කරමින් පවතින බව ද වාර්තා වේ.

ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු සැකකරු රෝහලෙන් පලාගොස් තිබූ අතර, ආරක්ෂක අංශ විසින් වහාම ක්‍රියාත්මක වී ඔහුව ලුහුබඳිනු ලැබීය.

එහිදී සැකකරු බස් රථයකින් ක්වෙටා නගරයෙන් පලායාමට උත්සාහ කරමින් සිටියදී පොලිසිය විසින් ඔහුව කොටුකරගෙන තිබේ.

“සැකකරුට පොලිසියට භාරවන ලෙස නියෝග කළත්, ඔහු පොලිස් නිලධාරීන්ට දෙසට වෙඩි තැබීමට පටන් ගත්තා. එහිදී දෙපාර්ශවය අතර ඇති වූ වෙඩි හුවමාරුවකදී සැකකරු ජීවිතක්ෂයට පත්වුණා,” යැයි ක්වෙටාහි නියෝජ්‍ය පොලිස්පති ඉම්රාන් ෂවුකට් පැවසීය.

නගරයෙන් පලායාමට උත්සාහ කළ මෙම සැකකරු පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මෙලෙස මියගිය බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් තහවුරු කළේය.