November 6, 2026

නීති විරෝධී පිරමිඩ මූල්‍ය යෝජනාක්‍රමයක් මෙහෙයවීම සහ ප්‍රචාරය කිරීමේ චෝදනා මත පානදුර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තහනම් මූල්‍ය යෝජනා ක්‍රමයේ මුදල් ආයෝජනය කළ පුද්ගලයන්ගෙන් ලත් පැමිණිලිවලට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

අදාළ සැකකරු විසින් මෙම මූල්‍ය යෝජනාක්‍රමය මෙහෙයවීම, කළමනාකරණය කිරීම, ප්‍රචාරය කිරීම සහ වෙළඳ දැන්වීම් පළ කිරීම මෙන්ම එහි ක්‍රියාකාරකම් හරහා මුදල් උපයා ඇති බවටද චෝදනා එල්ල වී තිබේ. ඊට අමතරව, අදාළ යෝජනාක්‍රමයේ මුදල් තැන්පත් කළ ආයෝජකයින්ට විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ බැංකු පනත යටතේ සිදුකරන ලද වරදක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරයි.