September 4, 2026

ශ්‍රී ලංකා පොලිස් සේවය නවීකරණය කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස 2027 මැදභාගය වන විට පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

නූතන පොලිස් සේවයක අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන පරිදි දැනට පවතින පොලිස් නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බව ජනාධිපතිවරයා පැවසීය. සුදුසු නව නිල ඇඳුමක් නිර්මාණය කිරීම සඳහා වෘත්තීය විලාසිතා නිර්මාණ සමාගමක් සම්බන්ධ කර ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.

“මම පොලිස්පතිතුමාට කිව්වා හොඳ ෆැෂන් ඩිසයිනින් කම්පැනි එකකට කියලා හොඳ නිල ඇඳුමක් ඩිසයින් කරන්න කියලා.” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

යෝජිත නව නිල ඇඳුම මඟින් ශරීර කැමරා (body cameras), බැටන් පොලු, විදුලි පන්දම්, මාංචු සහ අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ ඇතුළත් නූතන පොලිස් නිලධාරියෙකුට අවශ්‍ය මෙවලම් පහසුවෙන් පැළඳීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“නූතන යුගයට ගැලපෙන නිල ඇඳුමකින් යුතුව පොලිසිය නැවත ගොඩනැගිය යුතුයි” ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර දිසානායක පැවසුවේ නිල ඇඳුම වෙනස්කිරීම යනු මානව සම්පත්, යටිතල පහසුකම්, තාක්ෂණය, පුහුණුව සහ සේවා කොන්දේසි ඉහළ නැංවීම ඇතුළත් ශ්‍රී ලංකා පොලිසියේ පුළුල් පරිවර්තනයක එක් කොටසක් පමණක් බවයි.

පොලිස් සේවයේ දීර්ඝ කාලයක සිට පවතින උසස්වීම් පිළිබඳ ගැටලුවලට විසඳුම් ලබාදෙන අතරම, ජනවාරි මාසයේ සිට පොලිස් නිලධාරීන් සඳහා අවදානම් දීමනාවක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා නිවේදනය කළේය.

ජනාධිපතිවරයාට අනුව, ඇතැම් පොලිස් නිලධාරීන්ට පැය 12 ත් 18 ත් අතර කාලයක් සේවයේ නිරත වීමට සිදුවී ඇති නිලධාරී හිඟයට පිළියම් ලෙස නිලධාරීන් 10,000 ක් අලුතින් බඳවා ගැනීමටද රජය අනුමැතිය ලබා දී ඇත.

සහෙයුම් කටයුතු සඳහා නව යතුරුපැදි සහ සිංගල් කැබ් රථ ලබාදීම, පොලිස් ස්ථාන නවීකරණය කිරීම සහ පොලිස් මූලස්ථානය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීමට මුදල් වෙන්කිරීමද අනෙකුත් සැලසුම් කළ ආයෝජන අතර වේ.

ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා පොලිසිය තම රාජකාරි කාර්යක්ෂමව ඉටුකිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය, තාක්ෂණය සහ යටිතල පහසුකම්වලින් සමන්විත නූතන මෙන්ම ගෞරවණීය සේවාවක් බවට පරිවර්තනය කිරීම මෙහි අරමුණ බවයි.