April 7, 2026

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ලෙස පෙනීසිටිමින් මහජනතාවගෙන් මුදල් රැස්කළ බවට චෝදනා ලැබූ සැකකරුවකු අප්‍රේල් 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

හෙට්ටිආරච්චිගේ සුදේශ් නලින්ද අල්විස් ලෙස හඳුනාගෙන ඇති සැකකරු විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශන නිලධාරීන්ට අනුව, සැකකරු අමාත්‍යවරයාගේ නම භාවිත කරමින් බැංකු ගිණුම් විවෘත කර, බෞද්ධ භික්ෂුවකට රෝද පුටුවක් ලබාදීම සඳහා අරමුදල් අවශ්‍ය බව පවසමින් මහජනතාවගෙන් පරිත්‍යාග ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස CID යේ පරිගණක අපරාධ ඒකකයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශනය ආරම්භ කර තිබේ.

වංචනික ලෙස පරිත්‍යාග ලබාගැනීම සඳහා වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් ප්‍රමුඛ පුද්ගලයන්ගේ නම් භාවිත කරමින්, මේ හා සමාන තවත් වංචාවන් ද සිදුවන බව CIDය තවදුරටත් අධිකරණයට පැවසීය.

සිද්ධියට සම්බන්ධ වෙනත් සැකකරුවන් වේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බලධාරීන්ට උපදෙස් දුන් අතර වැඩිදුර පරීක්ෂණ සඳහා නියෝග කළේය.