May 1, 2023

පිළිකා රෝගීන් මුළාකරන ව්‍යාජ වෛද්‍යවරුන් හේතුවෙන්, එම රෝගීන්ට බරපතල හානියක් සිදුවන බව පිළිකා රෝග විද්‍යායතනයේ සභාපති පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් අබේසිංහ පෙන්වාදෙයි. සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන මෙවැනි වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින පුද්ගලයන් රෝගීන් සහ ජනතාව නොමඟ යවා ආර්ථික වාසි සලසා ගන්නා බවත් විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් අබේසිංහ සඳහන් කරයි.

“පිළිකාවක් ඇති වුණාම ඒ පිළිකාව ඇති වුණු පුද්ගලයාත් ඔහුගේ සමීප ඥාතීනුත් ඉමහත් කම්පනයකට තැති ගැනීමකට පත්වෙනවා. මේ පිළිකාව සුව කරගත යුතු බව ඔවුන් දන්නවා. නමුත් ඒ සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව ඒ අයට නිසි මග පෙන්වීමක් නොලබන විට විවිධ මිථ්‍යා මත හා වැරදි ප‍්‍රතිකාර කෙරෙහී ඔවුන් යොමු වන්නට ඉඩ තිබෙනවා.

භයානක කාරණය තමයි, මේ විදිහේ අවස්ථා ප‍්‍රයෝජනයට අරගෙන තමන්ගේ කූට ව්‍යාපාරික අරමුණු ඉෂ්ට සිද්ධ කර ගන්නට උත්සාහ ගන්නා කණ්ඩායම් අපේ රටේ බොහෝමයක් ඉන්නවා.

බටහිර වෛද්‍ය විද්‍යාවේදී පිළිකා රෝගියෙක් හමු වුණාම, ඔහුට තමන්ට තිබෙන පිළිකාවේ ස්වභාවය, ඊට කරන්නට තියෙන ප‍්‍රතිකාර, ඊට තියෙන අභියෝග වගේම මේ සියල්ල හමුවේ ප‍්‍රතිකාරය සාර්ථක භාවයට පත්වීමේ ඉඩකඩ සම්බන්ධයෙන් නිවැරදි අදහසක් රෝගීන්ට ලබාදෙනවා. පිළිකාව හොඳ කරන්නට අසීරු එකක් නම් බටහිර වෛද්‍යවරුන් ඒ බවත් රෝගියාට සංයමයෙන් යුක්තව පහදා දෙනවා. පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තම අදහස් ප‍්‍රකාශ කරන්නේ විද්‍යාත්මක පදනමක් සහිතවයි.

නමුත් අර ප‍්‍රශ්නගත කණ්ඩායම් කරන්නේ මේ පිළිකාව සම්පූර්ණයෙන් සුව කරන්නට ස්ථිර වශයෙන්ම හැකිය කියන මතය ඉඳුරාම රෝගියාගේ හිත තුල පැලපදියම් කිරීමයි. ‘‘මේක ඔය බටහිර වෛද්‍යවරුන්ට බැරි වුණාට මම මේක සුවපත් කරනවා.’’ ඔවුන් එහෙම කියනවා. රෝගියා තුළ උපරිම විශ්වාසනීයත්වයක් ජනිත කරනවා.

ළමයින්ට හා තරුණ අයට ඇති වෙන්නට ඉඩ තිබෙන පිළිකාවක් තියෙනවා ඔස්ටියෝ සාකෝමා කියලා. ඒක හැදෙන්නේ අත්වල සහ පාදවල අස්ථි ආශ‍්‍රිතව. සමහර ඔස්ටියෝ සාකෝමා කාණ්ඩයේ පිළිකා වලදී රෝගියාගෙ කකුල බේරගන්න බෑ. රෝගියාට එහෙම අවදානමක් තිබෙනවා නම්, කකුල වෙනුවට ජීවිතය බේරගන්න අවශ්‍ය නම් ඒ බව රෝගියාට කරුණූ කාරණා සහිතව පහදා දෙනවා.

නමුත් එහෙම වෙලාවට අර කලින් කියපු විදිහට ක‍්‍රියාත්මක වන ව්‍යාජ වෛද්‍යවරුන් කියන්නේ ‘‘අනේ, ඔය කකුල නම් කපන්න දෙන්න එපා. මං පිළිකාව සනීප කරලා දෙන්නම්, කකුලත් බේරල දෙන්නම්’’ කියලා. එහෙම කිව්වහම කොයි කෙනාද ඒක අහන්නේ නැතුව ඉන්න කැමති. ඔය වගේ ආකර්ෂණීය පොරොන්දු දීලා අන්තිමටම මේ රෝගියාගේ ජීවිතය රැකගන්නත් බැරි මට්ටමට පත් වෙනවා. කිසිවක් කරගන්න බැරි විදිහට අසරණ වුණාම ඒ අවස්ථාවේදී රෝගියා අප හමුවට එනවා. හැබැයි, ඒ වෙනකොට ඔවුන් ප‍්‍රමාද වැඩියි. අසරණ රෝගියාට තමන්ගෙ ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිද්ධ වෙනවා.

සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන මේ අය ගජරාමෙට ඔවුන්ගේ ප‍්‍රචාරාත්මක කටයුතු කරගෙන යනවා. අපේ සමාජයේ වැඩි දෙනෙක් මේව ගැන සබුද්ධිකව හොයල බලන්නෙ නෑ. චාටු බස් වලට අහුවෙලා බොහෝ ජීවිත විනාශ වෙනවා. මේ විදිහ මිත්‍යාවන් සමාජගත කරන ප‍්‍රචාර සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරන අවස්ථා අවමයි. ඇත්තටම ඔහුගේ ප‍්‍රතිකාරවලින් රෝගියා සුවපත් වුණාද? කියන කාරණය හොයලා බලන්න ඉදිරිපත් වෙන අය බොහොම අඩුයි.”