July 28, 2026

සක්‍රීයව පවතින ‘එල් නිනෝ’ කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ දිවයින පුරා තද උණුසුම් කාලගුණයක් සහ අඩු වර්ෂාපතනයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පවතින තත්ත්වය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ, මෙම එල් නිනෝ තත්ත්වය තවත් මාස 8 සිට 10 දක්වා, එනම් 2027 මාර්තු හෝ අප්‍රේල් දක්වා පැවැතීමේ හැකියාවක් පවතින බවයි.

විශේෂයෙන්ම ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලයේදී මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර විය හැකි අතර, ලබන වසරේ මුල් මාස තුනේදී ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි ගෝලීය කාලගුණ අනාවැකි පෙන්වා දෙයි.

ඉදිරි දින කිහිපයේදී සබරගමුව, බස්නාහිර, වයඹ, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන ප්‍රදේශවලට යම් වර්ෂාපතනයක් ලැබිය හැකි වුවද, උතුර, උතුරු මැද, නැගෙනහිර සහ හම්බන්තොට යන ප්‍රදේශවල ජූලි අග සිට අගෝස්තු මුල දක්වා අධික වියළි හා උණුසුම් කාලගුණයක් පවතිනු ඇත.

ත්‍රිකුණාමලය, වවුනියාව, මුලතිව් සහ මඩකලපුව යන ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විටත් සෙල්සියස් අංශක 35 ඉක්මවා ගොස් තිබේ.

මේ අතර, පස්වරු 2.00 සිට 4.00 දක්වා කාලය තුළ අධික හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් මහජනතාවට උපදෙස් දී ඇත.

විශේෂයෙන්ම බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන් සහ කුඩා දරුවන් අධික උණුසුමෙන් ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය වේ.

එළඹෙන සැප්තැම්බර් අග සහ ඔක්තෝබර් මාසවලදී ලැබෙන වර්ෂාවෙන් ජලාශවල ජල මට්ටම ඉහළ යා හැකි වුවද, 2027 වසරේ මුල් මාස තුනේ අවශ්‍යතා සඳහා එම ජලය ඉතා පරෙස්සමෙන් කළමනාකරණය කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

පවතින වියළි කාලගුණය හමුවේ ජලාශවල ජල මට්ටම පහළ යෑම පාලනය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය ඇතුළු ආයතන මේ වන විටත් විශේෂ ජල කළමනාකරණ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

උපුටා ගැනීම – The Morning