October 2, 2026

පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලේ පසුගියදා සිදුවූ පිපිරීමෙන් හානියට පත් වාට්ටු දෙකක් ඉදිරි දින දෙක ඇතුළත නැවත විවෘත කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඊට අමතරව රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය සහ දැඩි සත්කාර ඒකකයේ කටයුතු ද කඩිනමින් නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ලේකම්වරයා සඳහන් කළේය.

පිපිරීමෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා බ්‍රහස්පතින්දා (01) පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව සෞඛ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම සංචාරයේදී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හානියට පත් රෝහල් මුළුතැන්ගෙය, ඊට යාබද පිරිමි සහ කාන්තා වාට්ටු සංකීර්ණ, ප්‍රධාන ශල්‍යාගාරය සහ වෛද්‍ය දැඩි සත්කාර ඒකකය නිරීක්ෂණයට ලක් කළේය.

අනතුරුව රෝහල් පාලනාධිකාරිය සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවලින් පසුව, නේවාසික රෝගීන් ඇතුළත් කිරීම නැවත ආරම්භ කිරීම සඳහා හානියට පත් වාට්ටු දෙකෙහි සුළු අලුත්වැඩියා කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය. එමෙන්ම ශල්‍යාගාර සේවා හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

පිපිරීම සිදුවූ දිනට පසුදින සිටම රුධිර පාරවිලයන සේවා නැවත ආරම්භ කළද, රෝහලට නේවාසික රෝගීන් ඇතුළත් කිරීම තවදුරටත් අත්හිටුවා ඇති බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

කෙසේවෙතත්, රුධිර කාන්දුකරණය සේවාවන් අඛණ්ඩව සිදුවන අතර ශල්‍යකර්ම ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් පියවරෙන් පියවර යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටී.

මේ අතර, පිපිරීමෙන් රෝහලේ විදුලි පරිපථවලට සහ වෛද්‍ය වායු පද්ධතිවලට සිදු වූ හානිය පිළිබඳව කාර්මික කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටියි.