October 2, 2026

2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත වඩාත් විධිමත් හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සිදුකළ යුතු සංශෝධන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී පැවැත්විණි.

සංසදයේ සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍‍රි පෝල්රාජ් සහභාගී නොවීම හේතුවෙන්, මෙම රැස්වීම නියෝජ්‍ය සම සභාපතිනියන් වන නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ යන මන්ත්‍රිවරියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නැවැත්වීම මෙන්ම ඉන් පීඩාවට පත්වන පාර්ශ්වයන්ට කඩිනමින් නීතිමය ආරක්ෂාව ලබාදීම තහවුරු කිරීම සඳහා යෝජිත නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරී සංසදය විසින් කරුණු රැසක් ඉදිරිපත් කරන ලදී.

එහිදී ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන වැඩිහිටියන් හා දරුවන් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි පුද්ගලයන්ගේ හා නිලධාරීන්ගේ බලතල පරාසය පුළුල් කිරීම, අයැදුම්පත් යොමුකිරීමේ ක්‍රියාවලිය සරල කිරීම, අතුරු ආරක්ෂණ නියෝග සහ ආරක්ෂණ නියෝග සම්බන්ධයෙන් පසුවිපරම් කිරීමේ ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමුවිය.

එමෙන්ම, මෙය නීති සම්පාදනයට පමණක් සීමා නොකර, ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් මුහුණදෙන සැබෑ ප්‍රායෝගික අත්දැකීම් පදනම් කරගනිමින් නීතිමය මෙන්ම ආයතනික මට්ටමේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.