June 17, 2026

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න හෝ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර ඔවුන්ගේ වත්මන් තනතුරුවලට පත්කරන ලෙස මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කතෝලික සභාව පැහැදිලි කරයි.

කොළඹ අගදෙවගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අද (17) පැවැති ජනමාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියතුමන් කියාසිටියේ, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හෝ කතෝලික සභාව කිසිදු අවස්ථාවක මෙම නිලධාරීන් දෙදෙනාගේ පත්වීම් සම්බන්ධයෙන් එවැනි ඉල්ලීමක් කර නොමැති බවයි.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අධිකරණ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පෙත්සමක් ගොනුකර ඇති බවට පළවන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් සිරිල් ගාමිණී පියතුමන් කියාසිටියේ, එය ඔහුගේ නීත්‍යානුකූල අයිතිවාසිකමක් වන බැවින් මහජනතාව ඒ පිළිබඳ අධිකරණ තීන්දුව ලැබෙන තෙක් බලා සිටිය යුතු බවයි.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනවලට බාධාකිරීමේ අරමුණින් අසත්‍ය තොරතුරු සහ අපහාසාත්මක ප්‍රකාශ පතුරුවමින් පවතින බවට චෝදනා කළ පියතුමෝ, තහවුරු නොකළ සමාජ මාධ්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියහ.