January 15, 2026

ජනවාරි 27 වන දින පැවැත්වීමට නියමිත 16 වන යුරෝපා – ඉන්දියානු සමුළුවේදී යුරෝපා සංගමය නියෝජනය කිරීම සඳහා යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් ඉන්දියාවට පැමිණෙනු ඇත.

යුරෝපා -ඉන්දියානු උපායමාර්ගික හවුල්කාරිත්වය තහවුරු කිරීම සහ ප්‍රධාන ප්‍රතිපත්ති ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන සමුළුවක් සඳහා යුරෝපා සංගමයේ ප්‍රධානීන් දෙදෙනා නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට ද නියමිතව තිබේ.

සාකච්ඡා ප්‍රධාන වශයෙන් වෙළඳාම, ආරක්ෂාව සහ ආරක්ෂක සහ ජනතාව අතර සහයෝගීතාවය කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව යුරෝපා සංගමය නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ.

මේ අතර යුරෝපා ප්‍රධානීන් ජනවාරි 26 වන දිනට යෙදී තිබෙනව ඉන්දියාවේ 77 වන ජනරජ දින පෙළපාළි සැමරුමට ද සහභාගී වනු ඇත.

යුරෝපීය සංගමයේ නායකයින් ගෞරවනීය අමුත්තන් ලෙස ජනරජ දින පෙළපාළි සැමරුම්වලට සහභාගී වන පළමු අවස්ථාව මෙය වන අතර එය යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීම පෙන්නුම් කරන බව එම සංගමය පවසයි.

නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා ඉන්දියාව සහ යුරෝපීය සංගමය අතර සාකච්ඡා මධ්‍යයේ නායකයින් දෙදෙනෙකුගේ සංචාරය සිදු වේ.