June 21, 2026

යුරෝපා සංගමයට අයත් සමාගම්, සිය අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම් සඳහා විකල්ප මාර්ග සොයා යාම අනිවාර්ය කෙරෙන නව නීතියක් සකස් කිරීමට යුරෝපා කොමිසම පියවර ගනිමින් සිටින බව එහි සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන් ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත්, ව්‍යාපාරික ආයතන විසින්ම ස්වේච්ඡාවෙන් චීනය සමඟ පවතින වෙළෙඳ අවදානම් අවම කර ගැනීමට කටයුතු කරන්නේ නම්, මෙවැනි නීතියක අවශ්‍යතාවක් මතු නොවන බවද ඇය පෙන්වා දෙන්නීය. රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කර ඇත.

පසුගිය සිකුරාදා බ්‍රසල්ස් නුවර පැවැති රැස්වීමකදී යුරෝපා සංගමයේ නායකයෝ ගෝලීය ආර්ථිකයේ සහ වෙළෙඳ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපා කොමිසමට අවසර දුන්හ. එමෙන්ම, නව වෙළෙඳ ක්‍රියාමාර්ග අවශ්‍යද යන්න පිළිබඳව ඇගයීමක් කිරීමටද එහිදී තීරණය විය.

මෙම සමුළුවේ අවසන් නිල ලේඛනයේ ‘චීනය’ යන නම සෘජුව සඳහන් කර නොතිබුණද, සමුළුවේ ප්‍රධානතම මාතෘකාව වූයේ චීනය බව රොයිටර් වාර්තාවල දැක්වේ.

ව්‍යාපාරික ආයතන මෙවැනි අවදානම් අවම කර ගැනීමට පියවර ගන්නේ ඉතා මන්දගාමී අයුරින් බැවින්, විකල්ප සැපයුම් මාර්ග සෙවීම සඳහා ඔවුන්ව දිරිමත් කිරීමට යුරෝපා කොමිසම මෙම පියවර ගන්නා බව වොන් ඩර් ලේයන් පැහැදිලි කළාය.

විශේෂයෙන්ම, පසුගිය වසරේදී චීනය සතු දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය අපනයනය සීමා කිරීමත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර විය. ලෝකයේ අත්‍යවශ්‍ය ඛනිජ පිරිපහදු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛයා චීනයයි.

යුරෝපා කොමිසමේ සභාපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වඩාත්ම සාර්ථක ප්‍රතිඵලය වනුයේ සමාගම් විසින්ම මෙලෙස අවදානම් සහගත සැපයුම් මත යැපීම කඩිනමින් අඩු කර ගැනීම බවයි. එවිට යුරෝපා කොමිසමෙන් අතිරේක නීති පැනවීමට අවශ්‍ය නොවනු ඇත.

“අපි මේ තත්ත්වය වහාම යහපත් අතට හැරවිය යුතුයි. දත්ත දෙස බැලූ විට සැබෑ තත්ත්වය පැහැදිලි වන අතර, අපගේ වෙළෙඳ සබඳතාවල සමතුලිතතාව නැවත ඇති කර ගත යුතුයි,” ඇය අවධාරණය කළාය.

මේ අතර, අත්‍යවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය සඳහා පවතින අනවශ්‍ය යැපීම අවම කිරීම වෙනුවෙන් සහයෝගීතාව ශක්තිමත් කිරීමට සූදානම් බව ‘G7’ සංවිධානයට අයත් රටවල් පසුගිය බදාදා ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් චීනය කියා සිටියේ, G7 රටවල් “කුඩා කණ්ඩායම්” ලෙස ක්‍රියා නොකර, නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයේ සහ ජාත්‍යන්තර වෙළෙඳාමේ නීතිරීතිවලට ගරු කරමින් කටයුතු කළ යුතු බවයි.