May 1, 2023

නයිජිරියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 08දෙනකු නිදහස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි. මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස තෙල් ජාවාරම් චෝදනා මත රඳවාගෙන සිටි M/T Heroic Idun නම් යාත්‍රාවේ සේවකයෝ වෙති.

නයිජීරියාවේ ෆෙඩරල් මහාධිකරණය විසින් 2023 අප්‍රේල් 28 වන දින පෝට් හාර්කෝට් හිදී නිදහස් කරන ලද නෞකාවේ කාර්ය මණ්ඩලය අතර මෙම ශ්‍රී ලාංකිකයෝ පිරිසද වෙති. මෙම නෞකාව නයිජිරියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2022 අගෝස්තු මාසයේ දීය. ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 26 දෙනෙකු සමඟ යාත්‍රාව අත්අඩංගුවට ගනු ලැබීය.

නයිජීරියානු බලධාරීන් සහ යාත්‍රා හිමිකරු වන Idun Maritime Ltd අතර ඇතිකරගත් එකඟතාවකට අනුව, යාත්‍රාව රඳවා තබා ගැනීම සහ චෝදනා ඉවත් කිරීම අවසන් කිරීමට මහාධිකරණයට හැකිව තිබේ. නැව් සමාගම විසින් කොන්දේසි සම්පූර්ණ කළ පසු ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය ඉක්මනින් ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යාත්‍රා හිමිකරු සමඟ සම්බන්ධීකරණය කරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.