November 16, 2026

පරිත්‍යාගශීලී අරමුදල් කඩාවැටීම හමුවේ බංග්ලාදේශයේ රොහින්ග්‍යා සරණාගත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක මානුෂීය වැඩසටහන් බරපතළ පසුබෑමකට ලක්ව ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙයි.

එම වැඩසටහන් සඳහා අවශ්‍ය සම්පූර්ණ ප්‍රතිපාදන සැපයීමට ආධාරකරුවන් පියවර ගත යුතු බවත්, රොහින්ග්‍යා ප්‍රජාව විසින් පවත්වාගෙන යන ස්වාධීන පාසල් පද්ධතියට නිල පිළිගැනීමක් ලබා දීමට බංග්ලාදේශයත්, ඊට අවශ්‍ය අනුග්‍රහය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මැදිහත් විය යුතු බවත් එම සංවිධානය කියා සිටී.

බංග්ලාදේශ සරණාගත කඳවුරුවල සිටින පාසල් වයසේ පසුවන රොහින්ග්‍යා දරුවන් ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවකින් අධ්‍යාපන වැඩසටහන් සඳහා ලියාපදිංචි වී ඇත්තේ දරුවන් 312,000ක් පමණි. 2025 වසරේ සිදු වූ ආධාර කප්පාදු කිරීම් නිසා මාස ගණනාවක් අක්‍රියව පැවති මෙම අධ්‍යාපන වැඩසටහන්, දැනට ඉගෙනුම ලබන දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට පවා ප්‍රමාණවත් නොවන මට්ටමක පවතී. මානුෂීය ආධාර අංශ නිලධාරීන් හියුමන් රයිට්ස් වොච් සංවිධානයට අනාවරණය කර ඇත්තේ මෙම වැඩසටහන් නැවතත් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බවයි.

පවතින සම්පත් සීමා වෙමින් තිබියදී, ජනගහනය ඉහළ යාම සහ මියන්මාරයේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ අලුතින් සරණාගතයින් පැමිණීම නිසා මෙම වසර තුළ තවත් දරුවන් 90,000කට පමණ අධ්‍යාපන පහසුකම් සැපයීමට සිදුව තිබේ. මේ අතර, සරණාගත කඳවුරු තුළ රොහින්ග්‍යා ගුරුවරුන් විසින් පිහිටුවා ඇති පාසල් කෙරෙහි ආධාර ලබන වැඩසටහන්වල අවධානය යොමු වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන බැවින් සරණාගත ප්‍රජාව අතර එම පාසල් කෙරෙහි ඉහළ විශ්වාසයක් පැවතුණද, නීතිමය පිළිගැනීමක් නොමැතිකම හේතුවෙන් එමඟින් අධ්‍යාපනය ලබා දිය හැකි වී ඇත්තේ දරුවන් 30,000කට පමණ සීමිත පිරිසකට පමණි.