June 9, 2026

ශ්‍රී ලංකාව තුළ වේප් (Vapes) සහ ඊ-සිගරට් (e-cigarettes) ඇතුළු මෙරට තහනම් කර ඇති දුම්කොළ නිෂ්පාදන, සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින් තරුණ පරපුර වෙත අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව දුම්කොළ නිවාරණ මධ්‍යස්ථානය පවසයි.

නව පරිශීලකයන්, විශේෂයෙන්ම තරුණ තරුණියන් තමන් වෙත ආකර්ෂණය කරගැනීම සඳහා දුම්කොළ කර්මාන්තය විසින් භාවිත කරන නවතම උපක්‍රමය වී ඇත්තේ ඊ-සිගරට්, වේප් සහ අනෙකුත් නවතම නිකොටින් නිෂ්පාදන හඳුන්වාදීම බව එම මධ්‍යස්ථානය පෙන්වාදෙයි.

2026 ජනවාරි මාසයේදී සිදු කරන ලද අධ්‍යයනයක් මඟින්, මෙලෙස තහනම් දුම්කොළ නිෂ්පාදන අලෙවි කරනු ලබන සමාජ මාධ්‍ය වේදිකාවන් සහ අන්තර්ජාල වෙබ් අඩවි නිරීක්ෂණයට ලක් කර ඇත.

එහිදී පර්යේෂකයන් විසින් අලෙවියට ඇති නිෂ්පාදන, ඒවායේ මිල ගණන්, මිලදී ගැනීමේ ක්‍රමවේද සහ විකුණුම්කරුවන් විසින් භාවිත කරන උපක්‍රම පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් සිදුකර තිබේ.

එම අධ්‍යයනයට අනුව, තහනම් දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන අන්තර්ජාල මූලාශ්‍ර 213ක් හඳුනාගෙන ඇත.

ඉන් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ ෆේස්බුක් හරහා වන අතර, එම සංඛ්‍යාව 108 කි (50.7%).

මීට අමතරව ඉන්ස්ටග්‍රෑම් ගිණුම් 57ක් (26.8%), ටික්ටොක් ගිණුම් 19ක් (8.9%), විවිධ වෙබ් අඩවි 17ක් (7.9%) සහ වට්ස්ඇප් සමූහ 12ක් (5.6%) හරහා ද මෙම අලෙවිකරණය සිදුවන බව අනාවරණය වී ඇත.

මෙහිදී පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ, විකුණුම්කරුවන් 150 දෙනකු (70.4%) පමණ තම පිටු (Pages) සඳහා “vape”, “puff” සහ “shisha” වැනි වචන හෝ ඒ හා සමාන පද භාවිත කර ඇති බවයි.

මෙම නිෂ්පාදන භාවිතය සාමාන්‍යකරණය කිරීමට සහ විශේෂයෙන්ම තරුණ පිරිස් හා කාන්තාවන් ඉලක්ක කරගනිමින් විවිධ අලෙවිකරණ උපක්‍රම රැසක් භාවිත වන බව දුම්කොළ නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

තරුණ පරපුර අතර මෙම නිෂ්පාදන වඩාත් ආකර්ෂණීය තත්ත්වයට පත් කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් (Social Media Influencers) ද යොදාගන්නා බව එහිදී අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාවේ 2016 අංක 1 දරන දුම්කොළ නිෂ්පාදන (තහනම් කිරීමේ) රෙගුලාසි මඟින් මෙවැනි නිෂ්පාදන අලෙවිය සහ ප්‍රවර්ධනය සපුරා තහනම් කර තිබියදීත්, අන්තර්ජාලය ඔස්සේ මේවා ඉතා පහසුවෙන් මිලදී ගැනීමට පවතින හැකියාව පිළිබඳව මෙම සොයාගැනීම් සමඟ දැඩි කනස්සල්ලක් මතුව තිබේ.