
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව විගණකාධිපතිවරයකු පත්කිරීම සඳහා වන දැඩි ප්‍රමාදය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වරදක් ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා හඳුන්වා තිබේ.
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා දෙසැම්බර් 22 දිනැති ලිපියකින් ජනාධිපති දිසානායක වෙත යොමු කරන ලද ලිපයක දක්වා තිබුණේ විගණකාධිපති ධුරය හිස්ව පවතින බවයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා විසින් සිදුකරන ලද මැදිහත්වීම්වලට අනුවම යමින් ආචාර්ය හර්ෂ ද සිල්වා ද මෙම බරපතළ ගැටළුව ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.
පුරප්පාඩුව පිරවීමට ජනාධිපතිවරයාගේ පැත්තෙන් අසමත් වීම බරපතළ කණස්සල්ලට කරුණක් බව ආචාර්ය ද සිල්වා අවධාරණය කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයාගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුගේ සුදුසුකම් ප්‍රශ්නකර තිබිණි.
” දෙසැම්බර් 6 වැනිදා වැඩබලන විගණකාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු දෙසැම්බර් 7 වැනිදා සිට විගණකාධිපති කාර්යාලය පුරප්පාඩු වී ඇති බව ඔබගේ අවධානයට ගෞරවනීය ලෙස යොමු කිරීමට කැමැත්තෙමි. වර්තමානයේ, රට තුළ නාමික හෝ වැඩබලන විගණකාධිපතිවරයකු නොමැති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, විගණන සේවා කොමිෂන් සභාව සභාපතිවරයකු නොමැතිව පවතී. රටේ පවතින තත්ත්වයන් සැළකිල්ලට ගෙන, ව්‍යවස්ථාපිතව නියමකර ඇති මෙම තනතුර හිස්ව පැවතීම සම්බන්ධයෙන් බරපතළ ලෙස අවධානයට ගත යුතුය.” යනුවෙන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ දැක්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය යටතේ, පාර්ලිමේන්තුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ පාලනය ක්‍රියාත්මක කරන බවත් මෙම පාලනය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ව්‍යවස්ථානුකූලව රඳා පවතින්නේ ස්වාධීන විගණන යාන්ත්‍රණයක අඛණ්ඩ ක්‍රියාකාරිත්වය මත බවත් ඔහු සඳහන් කරයි.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වැනි වගන්තිය විගණකාධිපති කාර්යාලය ස්ථාපිත කරන අතර සියලුම රාජ්‍ය ආයතනවල විගණනය සහ එවැනි විගණන පාර්ලිමේන්තුවට වාර්තා කිරීම අනිවාර්ය කරයි. විගණකාධිපතිවරයකු නොමැතිවීම මෙම අනිවාර්ය ව්‍යවස්ථාමය ක්‍රියාවලියට බාධා කරයි. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 3 වැනි වගන්තිය මගින් මෙම වරම තවදුරටත් ශක්තිමත් කර ඇත.” යනුවෙන් ද එම ලිපියේ දැක්වේ.
අධීක්ෂණ කාර්යයන් සඳහා වන රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සහ ස්ථාවර නියෝග 119 සහ 120 ප්‍රකාරව රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවේ තනතුරු විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද විගණන වාර්තා මත සෘජුවම රඳා පවතින බැවින් එම තනතුර පුරප්පාඩුව පැවතීම පාර්ලිමේන්තු මූල්‍ය අධීක්ෂණය සැළකිව යුතු ලෙස අඩපණ කරන බවද අදාළ ලිපියේ දක්වා ඇත.
රාජ්‍ය මූල්‍ය කාරක සභාව ජාතික විගණන කාර්යාලයේ අයවැය සහ වැඩ වැඩසටහන සමාලෝචනය කිරීම සඳහා වගකිව යුතු බැවින්, විගණකාධිපතිවරයා වහාම පත්කරන ලෙස ඉල්ලා සිටීම එහි සභාපතිවරයා ලෙස සිය යුතුකමක් බව ආචාර්ය ද සිල්වා සඳහන් කර ඇත.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(1) වගන්තියට අනුව, තවදුරටත් ප්‍රමාදයකින් තොරව, විගණකාධිපතිවරයාට සුදුසු, සුදුසුකම් ලත් සහ පළපුරුදු පුද්ගලයකු පත්කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart