
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්ත්‍රීවරුන් සඳහා ඩබල් කැබ් රථ ආනයනයට රජය සළකා බලන බවට වූ පුවතක් පාර්ලිමේන්තුවේදී ඊයේ විවාදයක් ඇති කළ මාතෘකාවක් බවට පත්විය.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක ප්‍රශ්න කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් වැනි අනෙකුත් වරප්‍රසාද කප්පාදු කර තිබියදීත්, රුපියල් බිලියන 65ක වියදමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබා ගැනීමේ රජයේ දෙබිඩි පිළිවෙත කුමක්ද යන්නයි.
පාර්ලිමේන්තු ආපනශාලාවේ ලබා දෙන ආහාර සඳහා අය කිරීමට අමතරව, සියලු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට යෝජනා කරන අවස්ථාවක, ඩබල් කැබ් රථ ආනයනය කිරීමට සළකා බැලීමේ තාර්කිකත්වය ඔහු ප්‍රශ්න කළේය.
“මන්ත්‍රීවරුන් සඳහා ඩබල්කැබ් රථ ආනයනය කිරීමට නියමිත බව වාර්තා වී තිබෙනවා. මහජන වියදමින් මන්ත්‍රීවරුන් භුක්ති විඳින වරප්‍රසාද විවේචනය කළ එකම රජය මෙයයි. ඔබ දැන් පවසන්නේ දැනට ඉන්න මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් පවතිනු ඇති බවත්, අනාගත මන්ත්‍රීවරුන්ට පමණක් විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට යෝජිත නීති සම්පාදනය අදාළ වන බවත්. එම පැහැදිලි කිරීම සාදරයෙන් පිළිගන්න පුළුවන් වුණත්, වත්මන් තත්ත්වයන් යටතේ මන්ත්‍රීවරුන් සඳහා ඩබල්කැබ් රථ ආනයනය කිරීමේ සැලැස්ම සාධාරණීකරණය කරන්න පුළුවන් කොහොමද?” යනුවෙන් කරුණානායක ඇසුවේය.
මෙම වාහන ආනයනය කිරීමේ දී රටට රුපියල් බිලියන 65ක වියදමක් දැරීමට සිදුවන බව ඔහු පැවසීය.
ඊට ප්‍රතිචාර වශයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පිළිතුරු දුන්නේ එවැනි වාහන ආනයනය කිරීම ප්‍රධාන වශයෙන් මන්ත්‍රීවරුන්ට වඩා රජයේ නිලධාරීන් සඳහා අදහස් කර ඇති බවයි.
“ප්‍රමුඛතාව ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් පටන් ගෙන රජයේ නිලධාරීන්ට ලබා දෙනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.
“ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැනට අවුරුදු 15ට වඩා පරණ වාහන භාවිත කරන්නේ. සමහර අවස්ථාවල නඩත්තු හා අලුත්වැඩියා කිරීමේ පිරිවැය නව වාහන මිලදී ගැනීමේ පිරිවැය ඉක්මවා යනවා,” යනුවෙන් ඔහු පැවසීය.
වර්තමානයේ, රජය මන්ත්‍රීවරුන් සඳහා වාහන වෙන් කර නොමැති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීම සඳහා තීරුබදු රහිත බලපත්‍ර නිකුත් කිරීම ද නතර කර ඇත.
කෙසේවෙතත්, ඊට පෙරදින ඩේලි මිරර් පුවත්පත් වාර්තා කර තිබුණේ, මන්ත්‍රීවරුන් සහ රජයේ ආයතන සඳහා ඩබල් කැබ් රථ ආනයනය කිරීම පිළිබඳ රජය සලකා බලමින් සිටින බව පාර්ලිමේන්තු කටයුතු භාර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසූ බවයි.
“මේ මොහොතේ අපට තිබෙන අදහස තමයි මේ. කොහොම වුණත් එය කවදා සිදු කරනවාද කියලා අපි තීරණය කරලා නැහැ. එය මේ වසරේ හෝ ලබන වසරේ සිදු කරයිද කියලා අපි දන්නේ නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart