November 7, 2026

ලෝක බැංකු මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක ‘ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය’ (PSSP) හරහා ලැබුණු නව ටොයෝටා ඩබල් කැබ් රථ 10ක් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත සංකේතාත්මකව නිල වශයෙන් ප්‍රදානය කිරීම ඊයේ (06) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

​ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමේ සෞඛ්‍ය සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම වාහන බෙදාහැරීම සිදුකර ඇත.

ඒ අනුව නුවරඑළිය, පුත්තලම, මොනරාගල, පොළොන්නරුව, කළුතර, මාතර, රත්නපුර, ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත මෙන්ම කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ද මෙම නව වාහන පිරිනමා තිබේ.

​අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති මෙම නිල උත්සව අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය ලලිත් ලියනගේ ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ටොයෝටා ලංකා සමාගමේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.