June 22, 2026

සමගි ජන බලවේගයේ ‘හුස්ම’ වැඩසටහනේ 77 වැනි අදියර යටතේ රුපියල් මිලියන 4.8ක් (ලක්ෂ 48ක්) වටිනා අතිනවීන රුධිර කාන්දුකරණ (Hemodialysis) යන්ත්‍රයක් මහනුවර ජාතික රෝහල වෙත පරිත්‍යාග කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබේ.

මහනුවර දිස්ත්‍රික් සමගි තරුණ බලවේගයේ තරුණ ප්‍රජාවගේ මූලිකත්වයෙන් සහ දායකත්වයෙන් මෙම පරිත්‍යාගය සිදුකෙරුණු අතර, එය ජුනි 23 වැනි දිනට යෙදෙන දිවංගත රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

මෙම ‘හුස්ම’ වැඩසටහන වෙනුවෙන් සජබය මේ වන විට වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 238.8කි.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියාසිටියේ, තම පියාණන් සිදු කළ සෑම කාර්යයකින්ම අපේක්ෂා කළේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම බැවින්, මෙම සත්ක්‍රියාව දිවංගත රණසිංහ ප්‍රේමදාස වෙනුවෙන් වචනයට පමණක් සීමා නොවී ක්‍රියාවෙන්ම සිදු කළ උපහාරයක් බවයි.

ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍ය කරන්නේ කතාවට සහ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට පමණක් සීමා නොවී, ක්‍රියාවෙන් ප්‍රතිඵල පෙන්විය හැකි නායකත්වයක් බවත්, සමගි ජන බලවේගය සැමවිටම කැපවී සිටින්නේ එම ප්‍රතිපත්තිය වෙනුවෙන් බවත් හෙතෙම සඳහන් කළේය.

පක්ෂ අරමුදල් පුද්ගල ප්‍රතිරූප ගොඩනැගීමට වැයනොකර, මහජන සුභසාධනය වෙනුවෙන් යොදවන බව පෙන්වාදුන් විපක්ෂ නායකවරයා, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය ශක්තිමත් කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය මේ වන විට පාසල් පද්ධතිය සඳහා රුපියල් මිලියන 434.2ක වියදමින් බස් රථ 89ක් ද, රුපියල් මිලියන 431ක වියදමින් පාසල් 386ක් සඳහා ස්මාර්ට් පන්ති කාමර ද පරිත්‍යාග කර ඇති බව අනාවරණය කළේය.

විපක්ෂයේ සිටියද තමන් කිසිවිටෙකත් ජනතා සේවය නතර කර නොමැති බව අවධාරණය කළ සජිත් ප්‍රේමදාස, “පක්ෂ අරමුදල් රූප රාමුවලට සහ පෝස්ටර්වලට නාස්ති නොකර, රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ සමස්ත ජාතියට සේවය කිරීමට යෙදවීමයි සැබෑ වෙනස” යැයි ද වැඩිදුරටත් කියාසිටියේය.