June 9, 2026

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් වැඩසටහනේ ප්‍රතිඵල සහ වත්මන් එකඟතාවයෙන් ඔබ්බට රටේ ඉදිරි ආර්ථික උපායමාර්ගය කුමක්ද යන්න පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක රජයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම ප්‍රශ්න මතු කර සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව විසින් විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන පස්වැනි සහ හයවැනි සමාලෝචන ඒකාබද්ධව අනුමත කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 695ක පමණ ණය වාරිකයක් මුදා හැරීමට අවසර ලැබීමෙන් අනතුරුවය.

පාර්ලිමේන්තුවේදී මෙම කරුණ මතු කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම තවත් මාස හතකින් අවසන් වීමට නියමිත බවයි.

ඒ අනුව, 2023 වසරේදී ආරම්භ කරන ලද මෙම IMF-EFF වැඩසටහනේ ආර්ථික, සමාජයීය සහ මූල්‍යමය ප්‍රතිඵල පිළිබඳව රජය කිසියම් තක්සේරුවක් සිදුකර තිබේද යන්න රටට හෙළි කරන ලෙස ඔහු ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.