February 3, 2024

පෞද්ගලික රෝහල් හා වෛද්‍යාතනවල සේවා ගාස්තු හා සේවා සැපයීමේදී ක්‍රියාකරන ආකාරය (Fees and Proceedings) ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කළ යුතු බව දන්වමින් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව සියලුම පෞද්ගලික රෝහල් හා වෛද්‍යායතන වෙත ලිපියකින් දැනුම් දී ඇත.

ඒ ඒ සේවාවන් සඳහා වැය වන මුදල ආසන්න වශයෙන් මෙපමණකැයි සඳහන් ලේඛනයක් රෝහලේ වෙබ් අඩවියේ හෝ රෝහල් පිළිගැනීමේ කවුන්ටරයේ හෝ තබා තිබිය යුතු බව සියලු රෝහල් වෙත දන්වා යැවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලේකම් විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ පැවැසීය.

එසේ සේවා ගාස්තු පැහැදිලිව සඳහන් කර තිබිය යුතු බව 2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ පනතේ පැහැදිලිව සඳහන්ව ඇතත් පෞද්ගලික රෝහල් හෝ වෛද්‍යායතන කිසිවක් එසේ සඳහන් කර නැතැයිද වෛද්‍ය ලියනගේ කීවේය.

එහෙත් එම ස්ථානවලින් සේවා ලබාගන්නට යන රෝගීන්ට ඇතුළු වීමට පෙර ගාස්තු පිළිබඳ අවබෝධයක් ලබාගැනීමේ අයිතියක් ඇති බැවින්, එම තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් ලිපියක් යැවූ බවද ඔහු කීවේය.

පෞද්ගලික රෝහලකින් සේවාවක් ලබා ගැනීමේදී යම් අසාධාරණයක් වී නම් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවට පැමිණිලි කළ හැකි යැයිද හෙතෙම සඳහන් කළේය.(මව්බිම)