October 25, 2026

අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ විදේශ සංචාරවල නිරත වීමෙන් හෝ විදේශීය උත්සව සඳහා සහභාගී වීමෙන් වළකින ලෙස කැබිනට් අමාත්‍යවරුන්ට, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ ආයතනවල ප්‍රධානීන්ට, සභාපතිවරුන්ට, ප්‍රධාන විධායක නිලධාරීන්ට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

එම කාලසීමාව තුළ කිසිදු විදේශ සංචාරයක නොයෙදෙන ලෙස කැබිනට් අමාත්‍යවරුනට දන්වා ඇති අතර, විශේෂ අවස්ථාවන් සඳහා අවශ්‍ය නියෝජනය විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2027 අයවැය ලේඛනය නොවැම්බර් 12 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, තෙවැනි වර කියවීම (ඡන්ද විමසීම) දෙසැම්බර් 14 වැනි දින පැවැත්වීමට නියමිතය.

ඊට අමතරව, අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති කාරක සභා අවස්ථාවේ විවාද පැවැත්වෙන දිනවලදී අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වය අනිවාර්ය වන අතර, විධායක මට්ටමේ නිලධාරීන් තම දෙපාර්තමේන්තු තුළ රැඳී සිටීම තහවුරු කළ යුතු බවට ද විශේෂයෙන් සඳහන් කර ඇත.