October 25, 2026

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් විඳින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිදුකෙරෙන විරෝධතා සහ කටයුතු හමුවේ, ශාසනික විනය මෙන්ම භික්ෂූන් වහන්සේ කෙරෙහි සමාජය තුළ පවතින උත්තරීතර ගෞරවය ආරක්ෂා කරගැනීමට කටයුතු කරන ලෙස ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සමස්ත මහා සංඝරත්නය වෙත කාරුණික දැනුම්දීමක් කර සිටිති.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක හිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥාණරතන නායක හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නායක හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන නායක හිමි යන උත්තරීතර මහානායක හිමිවරුන්ගේ විශේෂ ඒකාබද්ධ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

එහිදී මහානායක හිමිවරුන් අවධාරණය කර ඇත්තේ ශාසනික ගෞරවයටත්, භික්ෂු ප්‍රජාවගේ කීර්තිනාමයටත් කැළලක් නොවන පරිදි සියලුම යතිවරයන් වහන්සේලා සංයමයෙන් හා විනයානුකූලව කටයුතු කළ යුතු බවයි.