November 1, 2026

G20 විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීව ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර්, කැනඩා විදේශ අමාත්‍ය අනීතා ආනන්ද් සහ ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොං අතර ත්‍රෛපාර්ශවික හමුවක් ඇට්ලන්ටාහිදී පැවැත්විණි. එහිදී ‘ඕස්ට්‍රේලියා-කැනඩා-ඉන්දියා තාක්ෂණික හවුල්කාරිත්වය’ ඉදිරියට ගෙන යාම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

2025 නොවැම්බර් මාසයේ ජොහැන්නස්බර්ග් නුවර පැවැති ජී20 රාජ්‍ය නායක සමුළුව අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සහ කැනඩා අගමැති මාර්ක් කාර්නිගේ එකඟතාව මත මෙම නව ත්‍රෛපාර්ශ්වික තාක්ෂණික හා නවෝත්පාදන හවුල්කාරිත්වයට මුලපිරිණි.

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ රටවල් තුනෙහිම ශක්තීන් එක්තැන් කරමින් හරිත බලශක්ති නවෝත්පාදනය සහ තීරණාත්මක ඛනිජ ඇතුළු සැපයුම් දාමයන්හි ප්‍රත්‍යස්ථතාව ගොඩනැගීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි.

එමෙන්ම කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ ඉලක්ක සපිරීම, සැපයුම් දාම විවිධාංගීකරණය මෙන්ම වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා කෘතිම බුද්ධිය බහුලව භාවිතයට ගැනීම කෙරෙහිද මෙම හවුල්කාරිත්වය අවධානය යොමු කරයි. 2026 වසරේ මුල් කාර්තුවේදී රැස්වී මෙම වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යාමට නිලධාරීන් තීරණය කර තිබේ.

මේ අතර, ගෝලීය අභියෝග නිරාකරණය සඳහා හමුදාමය විසඳුම් සාර්ථක නොවන බවත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග සඳහා ඉඩකඩ ලබාදිය යුතු බවත් විදේශ අමාත්‍ය ජයිශංකර් ඇට්ලන්ටාහිදී නැවතත් අවධාරණය කළේය.

ජී20 පළමු පූර්ණ සභා වාරය අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නාවිකයන්ට සහ වෙළෙඳ නෞකාවලට එල්ල වන ප්‍රහාරයන් වහා නතර කළ යුතු බවයි. අන්තර්ජාතික නීතිය සහ එක්සත් ජාතීන්ගේ නාවික නීති සම්මුතිය සුරකිමින් මුහුදු ගමනාගමනයේ නිදහස තහවුරු කිරීමේ වැදගත්කමද ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.