July 26, 2026

2027 අයවැය යෝජනා මගින් ‘අමතර දේපළ බද්ද’ (Secondary Property Tax) හඳුන්වා දීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) කළ යෝජනාවක් සම්බන්ධයෙන් රජය සහ IMF සංවිධානය අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

අතිරේක හෝ දෙවැනි නේවාසික දේපළ ඉලක්ක කරගනිමින් මෙම දේපළ බද්ද එළඹෙන අයවැයෙන් හඳුන්වා දිය යුතු බවට IMF සංවිධානය යෝජනා කර ඇතත්, වෙනත් ආදායම් මාර්ග පවතින බැවින් සහ දැනටමත් රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරාගෙන ඇති බැවින් එවැනි බද්දක් අවශ්‍ය නොවන බවට රජය තර්ක කර තිබේ.

දැනට පැවැත්වෙන අයවැය සාකච්ඡා පිළිබඳ තොරතුරු දන්නා ආරංචි මාර්ගවලට අනුව, 2023 වසරේ සිට ක්‍රියාත්මක වන විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන යටතේ රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමේ පියවරක් ලෙස, පුද්ගලයන් සතු දෙවැනි සහ ඊට පසුව ඇති නිවාස සඳහා බදු පැනවීමේ යෝජනාව IMF සංවිධානය විසින් ඉදිරිපත් කර ඇත.

කෙසේවෙතත්, 2027 අයවැය සඳහා යෝජනා කිරීමට නියමිත ආදායම් මාර්ග මගින් අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීමට ප්‍රමාණවත් වන බැවින් මෙම බද්ද හඳුන්වා දීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇති බව රජය IMF සංවිධානය වෙත දැනුම් දී ඇත.

එමෙන්ම, මෙරට දේපළ හිමිකාරිත්වය පිළිබඳ නිසි දත්ත සමුදායක් සකස් කිරීමට කාලයක් ගතවන බවද රජයේ මතය වී තිබේ.

කෙසේවෙතත්, මෙම 2027 අයවැය යෝජනාවලට ඇතුළත් නොවුවද, මෙම බද්ද හඳුන්වා දෙන ලෙස IMF සංවිධානය ඉදිරියටත් දැඩි ලෙස බලපෑම් කිරීමට ඉඩ ඇති බවද වාර්තා වේ.

2023 වසරේ ඇති කරගත් මූලික එකඟතාවට අනුව 2025 වන විට දිවයින පුරා පොදු දේපළ බද්දක් පැනවීමට නියමිතව තිබිණි.

නමුත් 2024 පෙබරවාරි මාසයේදී පැමිණි තාක්ෂණික නියෝජිත කණ්ඩායමක් පෙන්වා දුන්නේ ඊට බාධා දෙකක් පවතින බවයි.

එනම්, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව දේපළවලට අදාළ බදු ආදායම පළාත් සභාවලට හිමිවන බැවින් මධ්‍යම රජයට සෘජුව බදු පැනවිය නොහැකි වීම සහ මෙරට ඇති ලක්ෂ 50කට ආසන්න දේපළ පිළිබඳ යාවත්කාලීන දත්ත තක්සේරු දෙපාර්තමේන්තුව සතුව නොමැති වීමයි.

එම ව්‍යවස්ථාපිත ගැටලුව මඟහැරීම සඳහා IMF සංවිධානය විසින් 2024 අගෝස්තු මාසයේදී විකල්පයක් ලෙස ‘ආරෝපිත කුලී ආදායම් බද්ද’ (Imputed Rental Income Tax – පුද්ගලයෙකුගේ නිවසින් ලැබිය හැකි අනුමාන කුලී වටිනාකම ආදායමක් ලෙස සලකා බදු පැනවීම) 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කළේය.

නමුත් 2024 නොවැම්බර් මැතිවරණයෙන් පසු බලයට පත් වත්මන් රජය එය ප්‍රායෝගික නොවන බව තීරණය කරමින් එම යෝජනාව අත්හැර දමන ලදී.