March 7, 2026

ගාල්ල වෙරළට ඔබ්බෙන් යාත්‍රා කළ IRIS Dena නෞකාව එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් බේරාගත් පිරිස සහ IRIS Bushehr නෞකාවේ සිට දිවි ගලවා ගත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ඉරණම පිළිබඳ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ඉරාන බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව 1907 හේග් සම්මුතීන් සහ මධ්‍යස්ථභාවය පාලනය කරන අන්තර්ජාතික සමුද්‍රීය නීති දැඩි ලෙස අනුගමනය කරන බැවින්, ඔවුන් නැවත මව්රට යැවීමේ ක්‍රියාවලිය දිගු වනු ඇතැයි ද දැනගන්නට තිබේ.

මේ අතර, ගිලීගිය ඉරාන නෞකාවේ සිටි ඉතිරි පිරිස් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේ සෝදිසි කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව කරගෙන යයි.

නාවික හමුදා ප්‍රකාශක බුද්ධික සම්පත් පැවසුවේ නාවික යාත්‍රා දෙකක් දැනට මෙහෙයුමේ යෙදී සිටින අතර තවත් කිහිපයක් සූදානම්ව සිටින බවයි.

ඊයේ දහවල් වන විට සොයා ගන්නා ලද මළ සිරුරු 84න් ඔබ්බට කිසිදු මළ සිරුරක් සොයා ගෙන නොමැති බවත්, කිසිදු විදේශීය බලවේගයක සහභාගීත්වයෙන් තොරව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පමණක් සෝදිසි මෙහෙයුම් සිදු කරන බවත් ඔහු පැවසීය.

මේ අතර මූලික විධිවිධාන අවසන් වූ පසු, IRIS Bushehr නෞකාව ත්‍රිකුණාමලය වරායට රැගෙන යෑමට අපේක්ෂා කෙරේ.

නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ, ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථභාවය සහතික කිරීම අරමුණු කරගත් පියවරක් ලෙස, කාර්ය මණ්ඩලය ආරක්ෂිත ස්ථානයකට ගෙන ගිය පසු ඔවුන් සටන්කරුවන් නොවන අය ලෙස සළකනු ලබන බවයි.

අන්තර්ජාතික නීතිය යටතේ, සටන්කාමී යුද නැවක් හෝ එහි කාර්ය මණ්ඩලය බාර ගන්නා මධ්‍යස්ථ රටක්, ගැටුම අවසන් වන තෙක් ඔවුන් නැවත සතුරුකම්වලට යෑම වැළැක්වීම සඳහා ඔවුන් රඳවා තබාගත යුතුය.

ශ්‍රී ලංකා බලධාරීන් ඉරාන නාවික නෞකාවක් වන IRIS Bushehr භාරයට ගෙන බ්‍රහස්පතින්දා රාත්‍රියේ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් 208 දෙනා ආරක්ෂිතව ගොඩබිමට රැගෙනවිත් තිබිණි.

කලාපයේ වැඩිවන සමුද්‍රීය ආතතීන් මධ්‍යයේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම සිද්ධිය වූයේ මෙම සතිය මුලදී ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු සීමාවෙන් ඔබ්බට එක්සත් ජනපදය ටෝර්පිඩෝවක් ආධාරයෙන් IRIS Dena ගිල්වා දැමීමෙන් පසුවය.

IRIS Bushehr යනු විශාකාපට්නම් හි පැවති MILAN 2026 නාවික අභ්‍යාසයෙන් පසු ආපසු යාත්‍රා කරමින් තිබූ ඉරාන නාවික යාත්‍රා තුනෙන් එකකි.

එය සුහද සංචාරයක් සඳහා පානදුර වෙරළට ඔබ්බෙන් ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපයේ රැඳී සිටියේය.

කෙසේවෙතත්, මාර්තු 4 වැනිදා උදෑසන ගාල්ල වෙරළට නාවික සැතපුම් 19ක් පමණ දුරින් IRIS Dena නෞකාව ටෝපිඩෝවකට හසු වූ විට තත්ත්වය තවත් උග්‍ර විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධව සිදු කළ ගලවා ගැනීමේ මෙහෙයුමකින් දිවි ගලවා ගත් 32 දෙනෙකු බේරා ගැනීමට සහ මළ සිරුරු 84ක් සොයා ගැනීමට හැකි විය.

ප්‍රහාරයෙන් පසු, IRIS Bushehr නෞකාවේ සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳ කණස්සල්ල මතු වූ අතර, එම නෞකාව ශ්‍රී ලංකා වරායකට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නාවික හමුදාපතිවරුන් සහ ඉරාන තානාපති කාර්යාලය සම්බන්ධ හදිසි උපදේශනවලින් පසුව, රජය නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය රාජ්‍ය භාරයට ගැනීමට තීරණය කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මාධ්‍ය අමතමින් ජනාධිපති දිසානායක පැවසුවේ ඉලක්කගත විදේශීය හමුදා නෞකාවක් කොළඹ වරාය අසල රැඳී සිටීමට ඉඩ දීමෙන් ආරක්ෂක අවදානම් ඇති විය හැකි අතර, වාණිජ නැව් සඳහා ඇති විය හැකි බාධා සහ සමුද්‍ර රක්ෂණ වියදම් වැඩි විය හැකි බවයි.

එබැවින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ නෞකාව ත්‍රිකුණාමලය වරායට ගෙන යෑමට රජය තීරණය කළේය.

නැවත ස්ථානගත කිරීමට පෙර, ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා මගින් IRIS Bushehr නෞකාවේ සිටි ඉරාන නාවික භටයන් 208 දෙනෙකු කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු කෙරිණි.

නිලධාරීන් 53 දෙනෙකු, කැඩෙට් නිලධාරීන් 84 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48 දෙනෙකු සහ නාවිකයන් 23 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලය පසුව වැලිසර නාවික කඳවුරට රැගෙන යන ලදී.

ඔවුන්ට වෛද්‍ය පරීක්ෂණ, විධිමත් ලියාපදිංචි කිරීම් සහ අවශ්‍ය සුභසාධන සහාය ලබා දීමට අපේක්ෂා කෙරේ.

එක්සත් ජනපදයෙන් ඇති විය හැකි රාජ්‍ය තාන්ත්‍රික ගැටළු පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපති දිසානායක පැවසුවේ මෙම තීරණය මානුෂීය හේතූන් මත පදනම්ව ගනු ලැබූ බවයි.

“මෙමගින් ගැටුමට සම්බන්ධ කිසිදු පාර්ශවයකට හමුදා ආධාර ලබා දීමක් වෙන්නේ නැහැ. ජීවිත විශාල සංඛ්‍යාවක් අනතුරේ පැවතුණා,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාමාර්ග අන්තර්ජාතික නීතියට සහ රටේ මධ්‍යස්ථභාවය පිළිබඳ ප්‍රතිපත්තියට අනුකූලව සිදු කළ බව ඔහු සඳහන් කළේය.