
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලෙයි වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, සැකකරු පරීක්ෂා කළ විශේෂඥ මනෝ වෛද්‍යවරුන් පස්දෙනාගේ වාර්තාවල අඩංගු සොයාගැනීම් පදනම් කරගෙන, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ සැකකරුට සුදුසු සහනයක් ලබාදීමට අධිකරණය සලකා බැලිය යුතු බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9B(3), 9B(4) සහ 9B(5) වගන්ති ප්‍රකාරව සැකකරුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වයට හිතකර සුදුසු පරිසරයක් සැපයිය යුතු බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
එසේම, සැකකරු භාරයේ සිටියදී වධහිංසාවලට හෝ කිසියම් ආකාරයක කුරිරු, අමානුෂික හෝ අවමන්සහගත සැලකීමකට ලක්ව තිබේද යන්න තීරණය කිරීම සඳහා අදාළ බලධාරීන් අවශ්‍ය නීතිමය පියවර ගත යුතු බවට ද ඔහු තර්ක කළේය.
මනෝ වෛද්‍ය මණ්ඩලය ප්‍රකාශ කර ඇති වෛද්‍ය මතයන් අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව සැකකරුගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම අරමුණු කරගත් පියවරයන් කෙරෙහි අධිකරණයේ අවධානය යොමුවිය යුතු බව නීතිඥවරයා අවධාරණය කළේය.
විත්ති පාර්ශවයේ ඉදිරිපත් කිරීම්වලට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අතර, සැකකරු මේ වන විට නිරතව සිටින්නේ ‘ඔස්කාර් සම්මානයකට සුදුසු රංගනයක’ යැයි විස්තර කළේය.
පසුගිය පෙබරවාරි 25 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු, අධිකරණයෙන් අසාමාන්‍ය සහන ලබාගැනීමට උත්සාහ කරන බවත්, මැයි මාසයේදී වෛද්‍ය වාර්තා ලබා ගැනීමෙන් පසුව පමණක් තමන් මානසික රෝගයකින් පෙළෙන බව පවසමින් අධිකරණය නොමඟ යැවීමට තැත්කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
සැකකරු සැබවින්ම මනෝ වෛද්‍ය ආබාධයකින් පෙළුනේ නම්, එය වෛද්‍ය සාක්ෂි හරහා මීට පෙර අනාවරණය විය යුතුව තිබූ බව ඔහු තර්ක කළේය.
විත්ති පාර්ශවය මෙම මනෝ වෛද්‍ය වාර්තා භාවිත කරමින් අදාළ නීතිමය කටයුතුවලදී වාසි ලබාගැනීමට සහ විමර්ශනවලින් අවධානය වෙනතකට යොමුකිරීමට උත්සාහ කරන බවට ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය.
මනෝ වෛද්‍ය වාර්තාව ගැන සඳහන් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ, පරීක්ෂණය පුරාම සැකකරු හැඬූ බව එහි සඳහන් වුවද, ඔහු මීට පෙර කිසි දිනක අධිකරණය ඉදිරියේ එවැනි හැසිරීමක් පෙන්වා නොමැති බවත්, ඔහුට මීට පෙර මානසික රෝග ඉතිහාසයක් නොමැති බවත්ය.
සැකකරුට මතකය අහිමි වී ඇති බවට කරන ප්‍රකාශයන් පිළිබඳව ද ප්‍රශ්න කළ ඔහු, තමන්ට මුරපද (Passwords) මතක නැතැයි සැකකරු ප්‍රකාශ කළ ද, විමර්ශකයින් විසින් ඔහුගේ ඉලෙක්ට්‍රොනික උපාංගවල මුරපද සොයාගෙන ඇති බව ප්‍රකාශ කළේය.
සැකකරුට අයුතු ලෙස සැලකූ බවට එල්ල වන චෝදනා ද ප්‍රතික්ෂේප කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, විශේෂඥ සායන වෙත යොමුකිරීම සහ පවුලේ සාමාජිකයන් සමඟ නිතිපතා සන්නිවේදනය කිරීමට ඉඩ සැලසීම ඇතුළුව, රැඳවුම් භාරයේ සිටියදී සැකකරුට නිසි සැලකිල්ල සහ වෛද්‍ය අවධානය ලැබී ඇති බව කියාසිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සැකකරුගේ සුභසාධනය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා පුළුල් පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.
වධහිංසා පැමිණවීම් සහ මානසික රෝගාබාධ පවතින බව පවසමින් මෝසත් ගොනුකිරීම අධිකරණය නොමඟ යැවීමට සහ නඩු කටයුතුවල අවධානය වෙනස් කිරීමට දරන උත්සාහයක් බව ඔහු තර්ක කළේය.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ ඉදිරිපත් කිරීම්වලට පිළිතුරු දෙමින් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට මෙසේ පැවසීය:
“අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසන පරිදි අපි මෙම වෛද්‍ය වාර්තාව කිසිදු කුමන්ත්‍රණයක කොටසක් ලෙස භාවිත කළේ නැහැ. අපට වෛද්‍ය වාර්තා ලැබුණේ මැයි 21 වැනිදා. අපි මෝසම ගොනු කළේ ඊයේ. මෙම වාර්තාව සකස් කර තිබෙන්නේ පස්දෙනෙකුගෙන් යුත් විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් විසින්. සැකකරු සම්බන්ධ වෛද්‍ය වාර්තා සකස් කර තිබෙන්නේ විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන්ගේ අධීක්ෂණය යටතේයි. විශේෂඥ මනෝ වෛද්‍යවරුන් අසත්‍ය වාර්තා ඉදිරිපත් කරන්නේ නැහැ.”
කවුරුන් හෝ ඔස්කාර් සම්මානයක් ලැබීමට සුදුසු බව මෙහිදී කියවුණා. නමුත් මේ අධිකරණ ශාලාව තුළ ඔස්කාර් සම්මානයක් ලැබිය යුතු වෙනත් පුද්ගලයෙක් සිටිනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ස්වාධීනව මෙම කටයුත්ත භාරගත නොහැක්කේ එය දේශපාලන පත්වීමක් නිසයි. මෙය නීතිපතිවරයා විසින් ස්වාධීනව විසඳිය යුතු ප්‍රශ්නයක්. මෙම විමර්ශනය දැන් පවතින්නේ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය අබමල් රේණුවක් තරම්වත් නොමැති මට්ටමකයි.”
දෙපාර්ශවයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අදාළ ඉල්ලීම් සහ අයදුම්පත් පිළිබඳ නියෝගය ජුනි මස 10 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම්දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart