May 28, 2026

පොලිස්පතිවරයාගේ නම භාවිත කරමින් අන්තර්ජාලය හරහා තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් සඳහා ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩ(Email) යොමුකිරීම මගින් සිදුකරන අපරාධ ජාලයක් සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බලකා සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විමර්ශන ඒකකය වෙත තොරතුරු අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ පොලිසියේ සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහ පොලිස්පතිවරයාගේ නම සහ ව්‍යාජ අත්සනක් භාවිත කරමින් යවන ලද මෙම කප්පම් ගැනීමේ විද්‍යුත් තැපැල් ජාලය මගින් ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසයට දැඩි හානියක් සිදුවිය හැකි බව නිරීක්ෂණය වන බවයි.

මෙවැනි සැකකටයුතු, තර්ජනාත්මක හෝ නිලධාරීන්ගේ නම් භාවිත කරමින් එවන ලද විද්‍යුත් තැපෑලක් (Email) සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයට පත් නොවන ලෙසටත්, එම පණිවිඩවලට පිළිතුරු සැපයීමෙන් හෝ ඔවුන් ඉල්ලා සිටින මුදල් ගෙවීමෙන් වැළකී සිටින ලෙසටත්, එම ඊමේල් පණිවිඩවල ඇති සබැඳිවලට (Links) පිවිසීමෙන් වළකින ලෙසටත්, මෙවැනි අපරාධයක් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට, ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත හෝ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත වහාම දැනුම් දීමට කටයුතු කරන ලෙසටත් පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

මෙම වංචනිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා අංශ ගණනාවක් මගින් විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිසිය සඳහන් කරයි.