July 19, 2026

හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ පපුවට සිදුවූ වෙඩි වැදීමේ තුවාල හේතුවෙන් සිකුරාදා සිදු වූ හදිසි මරණය, ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීම නිසා සිදුවන්නට ඇති බව විශ්වාස කෙරෙන බව Sunday Island පුවත්පත පවසයි.

ඊට අදාළ වැඩිදුර වාර්තාව පහතින් දැක්වේ.

ව්‍යායාම සඳහා ඇවිදීමට යෑමට සූදානම් වී සිය බිරිඳ තමා හා එක්වන තෙක් ආලින්දයේ රැඳී සිටි සී.ඩී. වික්‍රමරත්න, ආරක්ෂක නිලධාරියාගේ නව ගිනි අවිය පරීක්ෂා කරමින් සිට ඇති බව දැනුවත් ආරංචි මාර්ග පවසයි.

නිවස තුළ සපත්තු ලමින් සිටි බිරිඳට වෙඩි හඬක් ඇසී ඇති අතර, පසුව ඇය සී.ඩී. වික්‍රමරත්න ආලින්දය මත වැටීසිටිනු දැක ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

විශ්‍රාමික පොලිස්පතිවරයා සිය ආරක්ෂක නිලධාරියා අත නව ගිනි අවියක් තිබෙනු දැක එය පරීක්ෂා කිරීමට ඉල්ලා ඇත. මීට වසර ගණනාවකට පෙර තමා ද එවැනිම ආයුධයක් භාවිත කළ බව පැවසූ ඔහු, එහි මැගසිනය නොමැති බව දැක, “තමුසේ මැගසිනයක් නැති පිස්තෝලයක් අරන්ද මාත් එක්ක ඇවිදින්න එන්න ලෑස්ති වෙන්නේ?” යැයි අසා තිබේ.

එම අවස්ථාවේදී ආරක්ෂක නිලධාරියා උණ්ඩ සහිත මැගසිනය ඔහු වෙත ලබා දී, ඔහු ඉල්ලා සිටි වතුර බෝතලයක් රැගෙන ඒම සඳහා නිවස තුළට ගිය අවස්ථාවේදී ගිනි අවිය ක්‍රියාත්මක වී ඇත.

සී.ඩී. වික්‍රමරත්න කිසිසේත්ම මානසික පීඩනයකින් (depressed) පසු නොවූ බවත්, දින කිහිපයකට පෙර ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය උත්සවයකට සහභාගී වී මිතුරන් සමඟ රාත්‍රී ආහාරය ගනිමින් සුහද කතාබහක නිරත වූ බවත් එම ආරංචි මාර්ග පවසයි. සෙනසුරාදා දිනයේදී ද ඔහු සිය මිතුරෙකු හමුවීමට වේලාවක් වෙන්කර ගෙන තිබී ඇත.

සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගැනීමට කිසිදු හේතුවක් පවුලේ උදවිය හෝ මිතුරන් නොදුටු අතර, පිටස්තර පුද්ගලයෙකු විසින් ඔහුට වෙඩි තබා ඇති බවට ද කිසිදු සාක්ෂියක් නොමැත. වහාම කොළඹ නැගෙනහිර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කරන විටත් හිටපු පොලිස්පතිවරයා මියගොස් සිටි බව ප්‍රකාශ කෙරිණි.

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ක්‍රියාත්මක වන අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් බලා සිටින බව පොලිසිය පැවසීය.

සී.ඩී. වික්‍රමරත්න 2020 නොවැම්බර් 25 වැනිදා 35 වැනි පොලිස්පතිවරයා ලෙස පත් වූ අතර වසර තුනකට පසු 2023 දී විශ්‍රාම ගියේය.

ඔහුගේ පූර්වගාමියා වූ පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු, 2019 මැයි මාසයේදී එම තනතුරට නම් කරන ලද දින සිට වැඩිම කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස සේවය කිරීමේ වාර්තාව ද ඔහු සතු වේ.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු 1986 ජූනි මාසයේදී ඔහු පුහුණු සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවයට බැඳිණි.

පසුව ජාතික බුද්ධි කාර්යාංශයට අනුයුක්ත කරන ලද ඔහු 1995 දක්වා එහි සේවය කළේය.

ඉන් අනතුරුව නැවතත් නිල ඇඳුම් සේවයට පැමිණි ඔහු, යුද්ධය උත්සන්නව පැවති සමයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ ඇතුළුව දිවයින පුරා විවිධ ප්‍රදේශවල සේවය කර තිබේ.