September 15, 2026

මුදල් අමාත්‍යංශයේ සහ මහ බැංකුවේ පරස්පර ක්‍රියා සහ ප්‍රතිපත්ති හේතුවෙන් රටේ සංවර්ධනයට දැඩි බලපෑම් එල්ල වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ආයතන ද්විත්වය අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම බරපතල ගැටලුවක් බවයි.

”ජනතාව පත් කරලා තිබෙන ආණ්ඩුවකට තමාගේ මූල්‍ය අංශය යම් විදිහකින් හසුරුවන්න අවශ්‍ය නම් යම් දිශාවකට එම දිශාව වෙත ගමන් කරන්න පුලුවන් නිසි හැකියාවක් තිබෙන්න ඕනේ. හැබැයි මහ බැංකුව කිව්වොත් තමාගේ ස්වාධීනත්වය උද්ධමනය පාලනය කරන්න ඕනේ, ඒ නිසා සංවර්ධනය කරන්න බැහැ කියලා. එයාලා ප්‍රකාශ කරලා තිබෙනවා ‘සංවර්ධනය කිරීම අපේ ඉලක්කය නෙමෙයි’ කියලා. ඒ කියන්නේ රටට කුමක් වුවත්, එයාලට උද්ධමනය පාලනය වුනොත් සංවර්ධනය ඍණ වුනත් කමක් නෑ කියන මතයෙන් නේ ඒ උත්තරේ ලැබෙන්නේ. පොලී අනුපාතය අඩු කරන්නේ නැතිනම්, උද්ධමනය පාලනය වීම විතර නම් තිබෙන්නේ, රුපියලට සාපේක්ෂව ඩොලර් එක අවප්‍රමාණය වෙනවා නම් උද්ධමනය වැඩි වෙලා දරාගන්න බැරිවෙලා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක එතකොට ඉබේම සංවර්ධන ගමනට බාධාවක් කියලා තමයි මම හිතන්නේ.”

එමෙන්ම වත්මන් පවතින නීති අධික බැවින් රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ අභිමතය පරිදි වැඩ කිරීමේ ඉඩප්‍රස්ථාව අහිමි වී ගොස් ඔවුන් යම් බයකින් කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.