June 24, 2026

කාන්තාවන් සහ සබඳතා පිළිබඳව සමාජය තුළ පවතින දුර්මත ඉස්මතු කරමින් නිර්මාණය කළ වෙළඳ දැන්වීමක් හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ එල්ල වූ දැඩි විවේචන හමුවේ ප්‍රසිද්ධියේ සමාව අයැදීමට සහ අදාළ දැන්වීම ඉල්ලා අස්කර ගැනීමට ලොව ප්‍රමුඛතම සන්නාමයක් වන ඩෙටෝල් (Dettol) සමාගමට සිදුව තිබේ.

චීන සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැර තිබූ මෙම වෙළඳ දැන්වීමෙන් නිරූපණය වූයේ, වෙනත් කිසිදු පිරිමියකු ඇසුරු නොකළ, ‘පිරිසිදු’ කාන්තාවක විවාහ කර ගැනීමට කැමැත්තෙන් පසුවන පිරිමියෙකු පිළිබඳවයි.

ඇතැම් පිරිමින් තුළ පවතින මෙවැනි විෂමාචාර ආකල්පයන්ට අභියෝග කිරීමේ අරමුණින් මෙම ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කළ බව සමාගම පැවසුවද, එයින් සිදුව ඇත්තේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ඒකාකෘතික මතවාදයන් තහවුරු කිරීම සහ කාන්තාවන් භාණ්ඩකරණයට ලක්කිරීම බව නරඹන්නන් බහුතරයකගේ මතය විය.

මෙම වෙළඳ දැන්වීම චීන සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර වේගයෙන් දෝෂදර්ශනයට ලක්වූ අතර, කාන්තාවන් සහ සබඳතා පිළිබඳ යල්පැනගිය මතවාදයන් ප්‍රවර්ධනය කිරීමට සන්නාමය කටයුතු කර ඇති බවට ඔවුහු චෝදනා කළහ.

මෙම තත්ත්වය හමුවේ ඇතැම් පාරිභෝගිකයන් ඩෙටෝල් නිෂ්පාදන වර්ජනය කරන ලෙසට ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබිණි.

එල්ල වූ දැඩි විවේචන හමුවේ නිල නිවේදනයක් නිකුත් කරමින් සමාව අයැද සිටි ඩෙටෝල් සමාගම, අදාළ අන්තර්ගතය සිය සමාගමේ වටිනාකම් නිරූපණය නොකරන බවත්, එයින් මහජනතාවට සිදුවූ සිත් රිදවීම පිළිබඳව කණගාටු වන බවත් ප්‍රකාශ කළේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි එම වෙළඳ දැන්වීම ඉවත් කිරීමට පියවර ගත් සමාගම, ඉදිරියේදී මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා සිය අලෙවිකරණ ක්‍රියාවලිය නැවත සමාලෝචනය කරන බව ද සඳහන් කර සිටියි.

මෑත කාලීනව චීනය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ වෙළඳ දැන්වීම් ප්‍රමිතීන් පිළිබඳව සමාජ කථිකාවන් දැඩි ලෙස ඉස්මතු වෙමින් පවතින පසුබිමක, මෙම මතභේදාත්මක සිදුවීම එරට තුළ විශාල අවධානයක් දිනාගැනීමට සමත්ව ඇත.

ඩෙටෝල් සන්නාමය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බහුජාතික සමාගමක් වන ‘රෙකිට්’ (Reckitt) සමාගමට අයත් වේ.