November 29, 2026

එල් නිනෝ (El Niño) තත්ත්වය දෙවැනි අන්තර් මෝසම් වැසි ඉහළ නැංවීමේ සිට ඊසානදිග මෝසම සහ පළමු අන්තර් මෝසම් සමයේ වර්ෂාපතනය අඩු කිරීම දක්වා පරිවර්තනය වීමත් සමඟ, 2027 වසරේ මුල් භාගයේ සිට, විශේෂයෙන්ම ජනවාරි මාසයේ පමණ සිට ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය අඩුවීමේ ප්‍රවණතාවක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පැවසීය.

එල් නිනෝ බලපෑම යටතේ දෙසැම්බර් මැද භාගය පමණ වන තෙක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවත්, ඉන්පසුව එය ක්‍රමයෙන් අඩු වී 2027 මුල් භාගයේ අප්‍රේල් හෝ මැයි මාසය පමණ වන තෙක් සාමාන්‍ය වර්ෂාපතනයට සාපේක්ෂව වියළි කාලගුණික ප්‍රවණතාවක් අඛණ්ඩව පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් ඔහු පැහැදිලි කළේය.

පවතින වැසි සමය තුළ ජලය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අදාළ අංශ දැනුවත් කර ඇති බවත්, 2027 වසරට රටට සාර්ථකව මුහුණ දීමට හැකි වන පරිදි අනෙකුත් රාජ්‍ය ආයතන ද මේ වන විට පියවර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.