July 19, 2026

මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී.වික්‍රමරත්නගේ අභාවය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එල්. යූ. චුට්ලර් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. ඒ අනුව, ඒ මහතා වෙනුවෙන් පූර්ණ පොලිස් ගෞරවාචාර සහිතව අවසන් කටයුතු එළඹෙන 20 වැනි සඳුදා බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

පසුගිය 17 වැනිදා මාලඹේ, තලාහේන, පරාක්‍රම මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී සිදු වූ වෙඩි වැදීමකින් හිටපු පොලිස්පතිවරයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම මරණය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් සොය බැලීම සඳහා මේ වන විටත් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

මරණයට නිශ්චිත හේතුව සනාථ කරගැනීම සඳහා වන අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර, පොලිස් ආචාර ධර්ම සහ රීතීන්ට අනුව කිසියම් පොලිස් නිලධාරියෙකු සියදිවි නසා ගැනීමක් සිදු කරගෙන ඇති බව තහවුරු වුවහොත්, ඔවුන් වෙනුවෙන් නිල පොලිස් උත්තමාචාර පිරිනැමීමක් සිදු නොකරන බව උසස් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් අනාවරණය කළේය.