June 21, 2026

තමන්ගේ මහත්තයා වෙනත් කාන්තාවක් එක්ක අනියම් සබඳතාවක් පවත්වනවා කියලා සැකකරලා, ඒ කාන්තාවට තමන්ගේ ගේ ඇතුළේදීම පිහියෙන් ඇනලා මරාදාපු දෙදරු මවකට කුරුණෑගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරලා තියෙනවා.

මෙලෙස මරණ දඬුවම නියම වුණේ කුරුණෑගල, මල්කඩුවාව ප්‍රදේශයේ පදිංචි රොෂිකා මරීනා රණසිංහ නමැති දෙදරු මවකට. කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක විසින් තමයි මේ නියෝගය ලබා දීලා තියෙන්නේ.

නඩු විභාගයේදී මේ කාන්තාව බේරෙන්න මෙහෙම කියලා තිබුණා. එයා කියලා තියෙන්නේ මියගිය අදාළ කාන්තාව තමන්ව මරන්න ආපු වෙලාවේ බේරෙන්න (ආත්මාරක්ෂාව සඳහා) පිහිය උදුරගෙන ඇන්නා කියලා. හැබැයි ඉතින් ‘ආත්මාරක්ෂාවට’ ඇනපු පාරවල් ගණන ඇහුවාම උසාවියටත් තරු පැනලා තියෙනවා. මොකද, මියගිය කාන්තාවගේ සිරුරේ පිහි පාරවල් 47ක්ම තිබිලා තියෙනවා.

ආත්මාරක්ෂාවට 47 වතාවක් අනින්න බැහැයි කියන එක සලකා බලපු මහාධිකරණය, ඇයගේ නිදහසට කරුණු ප්‍රතික්ෂේප කරලා වරදකාරිය කරලා මරණ දඬුවමම නියම කළා.

මේ ඝාතනය සිද්ධ වෙලා තිබුණේ වරදකාරියගේ නිවස ඇතුළේදීමයි. පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥවරුන් වන අෂාන් නවරත්න සහ සශිකලා කුමාරි යනපිරිස පෙනීසිටි අතර, විත්ති පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සමඟ නීතිඥ අසංග කුමාරසිංහ පෙනීසිට තිබෙනවා.