July 17, 2026

මීට වසර 25කට පෙර අත්තනගල්ල ප්‍රදේශයේ නිවසකට කඩාවැදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර, තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට වරදකරුවන් වූ එකම පවුලේ මව, පියා, පුතුන් දෙදෙනා ඇතුළු පස්දෙනකුට ගම්පහ මහාධිකරණය අද (17) මරණ දඬුවම නියම කළේය.

ගම්පහ පූර්වගාමී විනිසුරු රශ්මි සිංගප්පුලි විසින් මෙම ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී. මෙලෙස මරණ දඬුවම නියම වූයේ අත්තනගල්ල, වෙළගෙදර පදිංචි එකම පවුලේ සාමාජිකයන් වන මව, පියා, පුතුන් දෙදෙනා සහ ඔවුන්ගේ හිතවතෙකු වන සුමින්ද මංජුල, වජිර ඉන්දික, ඩබ්ලිව්.ඒ. සිරිසේන, ජන කාන්ති සහ ඩබ්ලිව්. ලලිත් ප්‍රියන්ත කුමාර යන පස්දෙනාටයි.

නඩු විභාගයේදී අනාවරණය වූ පරිදි සිද්ධිය මෙසේය;

2001 ඔක්තෝබර් මස 31 වැනිදා රාත්‍රී කාලයේදී නිට්ටඹුව පොලිස් බලප්‍රදේශයට අයත් දියකාවිට, වෙළගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසකට සැකකරුවන් පිරිස කඩා වැදී, එහි සිටි පිරිසට ගල් සහ පොලුවලින් පහර දී ඇති අතර පසුව කඩුවලින් ද කොටා ඇත.

එම ප්‍රහාරයෙන් එච්. නිහාල් කුමාර නැමැති අවිවාහක තරුණයකු ජීවිතක්ෂයට පත් වූ අතර, නිවසේ සිටි තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින් විනිසුරුවරයා විසින් මෙම දඬුවම නියම කරන ලදී.