August 1, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත උල්ලංඝනය කිරීමක් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර ඊයේ (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙම ක්‍රියාව දූෂණ විරෝධී පනත යටතේ සලකනු ලබන බරපතළ වරදක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ඒ පිළිබඳව විමර්ශනය කර අදාළ නිගමනය රජයට පෙන්වාදෙන ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියි.

අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණය පනතේ 104 වන වගන්තිය යටතේ රජය සමඟ ගනුදෙනු කරන පුද්ගලයන් විසින් රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දීමක් හා සමාන වන බව දයාසිරි ජයසේකර පැමිණිල්ලේ දක්වා ඇත.

එසේම, මෙම පියවර හරහා රජයෙන් ලැබෙන යම් අනුග්‍රහයක්, වාසියක් හෝ අයුතු ප්‍රතිලාභයක් නිරූපණය වන බවත්, එය කිසිසේත්ම නොගත යුතු නුසුදුසු ක්‍රියාමාර්ගයක් බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.