November 9, 2026

2018 වසරේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්ෂේත්‍රය කැළඹූ ‘සෑන්ඩ්පේපර්ගේට්’ ලෙස හැඳින්වූ පන්දුව පළුදු කිරීමේ සිදුවීමට අදාළ සැලසුම පිළිබඳව එවක ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැන සිටි බවට උස්මාන් කවාජා කළ ප්‍රකාශය හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ප්‍රසිද්ධියේ තහවුරු කර තිබේ.

කවාජාගේ එම ප්‍රකාශය “100% ක්ම නිවැරදි” බව පැවසූ වෝනර්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ මෙම දැවැන්ත ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් එකල පැවැත්වූ පරීක්ෂණය සිදුවූ ආකාරය පිළිබඳවද ප්‍රශ්න කළේය.

කවාජා මෙම චෝදනාව එල්ල කර ඇත්තේ ළඟදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත ඔහුගේ ස්වයං චරිතාපදාන කෘතියෙනි. එහි කොටස් කිහිපයක් පසුගිය සති අන්තයේ ජනමාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි නිව්ලෑන්ඩ්ස් හිදී පැවැති තරගයේදී පන්දුව පළුදු කිරීමේ සැලසුම පිළිබඳව කණ්ඩායමේ සිටි සෑම දෙනාම දැන සිටි බව හිටපු ඕස්ට්‍රේලියානු ටෙස්ට් ආරම්භක පිතිකරු කවාජා එහි සඳහන් කර ඇත.

කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට් වැලි කඩදාසියක් භාවිත කරමින් පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට උත්සාහ කිරීමත් සමග මෙම ආන්දෝලනාත්මක සිදුවීම කරළියට ආ අතර, ඒ හේතුවෙන් බ්‍රැන්ක්‍රොෆ්ට්, එකල නායක ස්ටීව් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් යන තිදෙනාටම තරග තහනම් පැනවිණි.

ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් වෝනර්, කවාජාට සිය පූර්ණ සහය පළ කළේය.

“උසී, මම ඔබට මාගේ පූර්ණ සහය පළ කරනවා. ඔබ කළ හෙළිදරව්වට ස්තූතියි. ඔබ පැවසූ දේ 100% ක්ම නිවැරදියි,” යනුවෙන් වෝනර් පැවසීය.

එමෙන්ම එම සිදුවීමෙන් පසු පැවැත්වූ පරීක්ෂණය විවේචනය කළ ඔහු, ප්‍රශ්න කිරීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මන් එකක් වූ බවත්, එය ඉතා දුර්වල ලෙස සිදුකර ඇති බවත් පැවසීය.

සිද්ධිය වන අවස්ථාවේ බ්‍රැන්ක්‍රොෆ්ට් ළඟින්ම සිටි කවාජාගෙන් එකල පරීක්ෂණයේදී ප්‍රශ්න නොකළේ මන්දැයි වෝනර් මෙහිදී ප්‍රශ්න කළේය. “එහෙම බලද්දී එය විධිමත් පරීක්ෂණයක් වන්නේ කෙසේද?” යනුවෙන් ඔහු වැඩිදුරටත් විමසා සිටියේය.

මෙම හෙළිදරව්ව පැරණි තුවාල අලුත් කිරීමක් නොව, සිදුවූ දේ සම්බන්ධයෙන් වගවීම සහ පාරදෘශ්‍යභාවය තහවුරු කිරීමක් බව හිටපු ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් පවසයි.

එමෙන්ම මෙම සිදුවීම හේතුවෙන් තම පවුලට මුහුණ දීමට සිදු වූ මානසික බලපෑම පිළිබඳවද අදහස් දැක්වූ ඔහු, වසර අටකට පෙර සිදුවූ එම සිදුවීම පිළිබඳව තමා මෑතකදී තම දියණියන්ටද පැහැදිලි කළ බව පැවසීය.

කවාජාගේ ස්වයං චරිතාපදානය නිකුත් වීමට ආසන්න මොහොතක මෙම තොරතුරු කරළියට පැමිණීම පිළිබඳව ඇතැමුන් ප්‍රශ්න කළද, සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට ඔහු ගත් තීරණය අගය කළ යුතු බව වෝනර් සඳහන් කළේය.

එමෙන්ම, එකල පැවැත්වූ මුල් පරීක්ෂණයට වගකිව යුතු පාර්ශ්වයන් එහි සොයාගැනීම් සම්බන්ධයෙන් නගන ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය.

මෙම අලුත්ම හෙළිදරව්වත් සමග, එදා දඬුවම් ලැබූ ක්‍රීඩකයන් තිදෙනාට අමතරව මෙම සිදුවීමේ වගකීම තවත් පිරිසක් වෙත පැවරිය යුතුද යන්න පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ නැවතත් සංවාදයක් ගොඩනැගී ඇත.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සිදුකළ මුල් පරීක්ෂණයට අනුව මෙම පන්දු පළුදු කිරීමේ සැලසුම පිළිබඳව කලින් දැන සිට ඇත්තේ ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර් සහ කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට් යන ක්‍රීඩකයන් තිදෙනා පමණි. කෙසේ වෙතත්, කවාජාගේ ප්‍රකාශය මගින් එම නිගමනය සෘජුවම අභියෝගයට ලක් කෙරේ.

කෙසේ වෙතත්, එකල සිදුකළ පරීක්ෂණයේ තීරණ පිළිබඳව තමන් තවමත් සෑහීමකට පත්වන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, මෙම දැවැන්ත ආන්දෝලනාත්මක සිදුවීමෙන් වසර අටකට පසුවද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගවීම සහ පාරදෘශ්‍යභාවය පිළිබඳව නැවත වතාවක් බරපතල ප්‍රශ්න මතුවීමට මෙම තත්ත්වය හේතු වී ඇත.