April 5, 2024

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව, අඹුසැමි යුවළ අප්‍රේල් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි නිළිය සහ ඇයගේ සැමියා බ්‍රහස්පතින්දා (04) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මුදල් වංචාවකට සම්බන්ධ බවට රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය දකුණු කොරියාවේ රැකියා පොරොන්දුව මත රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ අදාළ නඩුවේ සැකකරුවන් ලෙස අබේරත්න සහ ඇයගේ සැමියා නම් කරන බවයි.

ඒ අනුව, ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ රීට් පෙත්සමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා ප්‍රතික්ෂේප කළේය.

මේ අතර සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ බදාදා (03) අඹුසැමි යුවළට විදෙස් ගමන් තහනම් කළේය.