June 8, 2026

මෑතකදී රජය පැනවූ අධිභාරය හමුවේ වුවද, මෙරටට වාහන ආනයනය කිරීම සැලකිය යුතු ලෙස පහත වැටී නොමැති බවත්, රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීම සඳහා වාහන ආනයන ක්ෂේත්‍රය තවදුරටත් ඉහළ දායකත්වයක් සපයන බවත් ශ්‍රී ලංකා රේගුව පවසයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කළේ, ආනයනය කරන ලද වාහන විශාල ප්‍රමාණයක් මෙතෙක් අලෙවි නොවී පැවතුණද, අපේක්ෂා කළ පරිදි ආනයන කටයුතු විශාල ලෙස අඩුවීමක් සිදුව නොමැති බවයි.

එමෙන්ම දැනට නිරීක්ෂණය වී ඇති සුළු අඩුවීම රජයේ ආදායමට කිසිදු බලපෑමක් එල්ල කර නොමැති බව ද ඔහු කීය.

සමස්ත රේගු ආදායමෙන් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නේ වාහන ආනයනය මඟින් බව පෙන්වාදුන් හෙතෙම, මාසික ආදායම් වාර්තා අනුව මෙම ක්ෂේත්‍රයෙන් රජයට ස්ථාවර ආදායමක් ලැබෙන බව ද තහවුරු කළේය.

ඒ අනුව, රේගු දෙපාර්තමේන්තුව ජනවාරි මාසයේදී රුපියල් බිලියන 235ක සමස්ත ආදායමක් උපයා ඇති අතර, ඉන් රුපියල් බිලියන 91ක්ම ලැබී ඇත්තේ වාහන ආනයනයෙනි.

මීට අමතරව වාහන ආනයන ආදායම පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 75ක්, මාර්තු මාසයේදී රුපියල් බිලියන 77ක්, අප්‍රේල් මාසයේදී රුපියල් බිලියන 84ක් සහ මැයි 28 වැනිදා වන විට රුපියල් බිලියන 76ක් ලෙස සටහන් වී තිබේ.

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය ද හේතුවෙන් මෑතකදී ඇමෙරිකානු ඩොලරයේ විනිමය අනුපාතිකය ඉහළ යාම, රුපියලෙන් ගණනය කරනු ලබන රේගු බදු වටිනාකම ඉහළ යාමට බලපා ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ හේතුවෙන් ආදායම අඩුවීම වෙනුවට රේගු ආදායම් එකතු කිරීම් තවදුරටත් ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.