March 15, 2024

නිකවැරටිය රෝහලේ වකුගඩු සායනයට ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ගැනීම සදහා පැමිණි හැට හැවිරිදි කාන්තාවක රවටා ඇය පැළඳ සිටි රුපියල් තුන්ලක්ෂ විසිපන්දහසක් පමණ වටිනා රන් ආභරණ එම රෝහලේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි නාදුනන පුද්ගලයකු පෙරේදා (13) වංචාවෙන් ලබාගෙන පළාගොස් ඇතැයි නිකවැරටිය මූලස්ථාන පොලිසිය පවසයි.

නිකවැරටිය භාතියගම ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව නිකවැරටිය රෝහලේ පැවැත්වෙන වකුගඩු සායනයට පෙරේදා උදේ වරුවේ පැමිණ සිට ඇත.

මේ අවස්ථාවේ කිසිවකු තමා වෛද්‍යවරයකු බව පවසා මෙම කාන්තාව කාන්තාවගෙන් පැමිණි කාරණය ගැන තොරතුරු විමසා ඇතැයි කියයි.

ස්කෑන් පරික්ෂණයක් සිදුකර ගැනීමට පැමිණි බව මෙම කාන්තාව ඔහුට පවසා තිබේ.

රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමට කටයුතු කළ යුතු යැයි සේවක සේවිකාවන් කිහිපදෙනකුට ද බැණවැදුණු බව කියන එම පුද්ගලයා මෙම කාන්තාව ස්කෑන් පරීක්ෂණයකට යැයි කියා කැඳවාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම පරීක්ෂණය සඳහා ඇය පැළඳ සිටින රන් ආභරණ ගලවන ලෙස දැනුම් දී, ඒවා ගැලවීමෙන් පසු ඉල්ලාගෙන පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මහනුවර ජාතික රෝහල ඇතුළු තවත් රෝහල් කිහිපයකටම පැමිණි ඇතැම් රෝගීන් වෛද්‍යවරයකු ලෙස පෙනීසිටි පුද්ගලයකු විසින් රවටා එම රෝගීන් සතු රන් ආභරණ ඇතුළු දේපළ සොරාගෙන ගොස් ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

මෙවැනි වංචාකාරයන්ට නොරැවටෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.(ලංකාදීප)