April 21, 2024

2023 වසරට සාපේක්ෂව මේ වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ පොලිස් ස්ථාන වෙත වාර්තා වූ අපරාධ සහ මාර්ග අනතුරු සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව අනාවරණය වී තිබේ.

පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 2024 අප්‍රේල් 10 සිට 2024 අප්‍රේල් 17 දක්වා කාලය තුළ වාර්තා වූ අපරාධ සහ රථවාහන අනතුරු සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් මේ බව හෙළි වී ඇත.

ඒ අනුව 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වසරේ අප්‍රේල් නිවාඩු සමයේ දින 08 තුළ වාර්තා වූ ඝාතන සිදුවීම් 26 සිට 20 දක්වා අඩු වී ඇත.

තුවාල ඇතිවන සිදුවීම් 507 සිට 389 දක්වා අඩු වී ඇති අතර පහරදීමේ සිද්ධීන් 4,431 සිට 4,018 දක්වා අඩු වී ඇත.

ආරවුල් හෝ ගැටුම්වලට අදාළ සිදුවීම් 4,425 සිට 3,936 දක්වා අඩු වී තිබේ.

එම කාලය තුළ දේපළ හේ මුදල් සොරකම් කිරීමේ සිද්ධීන් අඩුවී ඇත්තේ 339 සිට 244 දක්වායි.

නිවාස බිඳීම් පිළිබඳ පැමිණිලි 195 සිට 150 දක්වා අඩු වී තිබේ.

මංකොල්ලකෑම් පිළිබඳ පැමිණිලි 29 සිට 23 දක්වා අඩු වී ඇති අතර ගිනි තැබීම් පැමිණිලි 48 සිට 46 දක්වා අඩු වී ඇත.

අදාළ කාලය තුළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධීන් 9 සිට 7 දක්වා අඩුවී තිබේ.

ඉහත දත්තවලට අනුව පෙර වසරට සාපේක්ෂව මෙවර අවුරුදු සමයේ අපරාධ විශාල ලෙස අඩුවී ඇතැයි පොලිසිය කියයි.

පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම බවයි.

මත්ද්‍රව්‍ය සහ පාතාල අපරාධ මැඩලීමේ ‘යුක්තිය’ මෙහෙයුම් තවදුරටත් තීව්‍ර කිරීමටත්, දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාසවලට ගැළපෙන පරිදි අපරාධ වැළැක්වීමේ සැලසුම් සකස් කර ඉදිරි මාස තුන ඇතුළත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමටත් පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.