June 30, 2026

වසර ගණනාවකට පසු ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් ඔලිම්පික් කරළියට පිවිසෙන 2028 ලොස් ඇන්ජලීස් (LA28) ඔලිම්පික් උළෙලේ පිරිමි සහ කාන්තා විස්සයි-20 තරගාවලි සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබාගන්නා නිල ක්‍රමවේදය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව පිරිමි සහ කාන්තා අංශ දෙකෙන්ම රටවල් 6 බැගින් මෙම ඓතිහාසික තරගාවලිය සඳහා තරග වැදීමට නියමිතය.

අප්‍රිකාව, ආසියාව, යුරෝපය සහ ඕෂනියා කලාප නියෝජනය කරමින් අවම වශයෙන් එක් කණ්ඩායම බැගින් සහභාගී වීම මෙහිදී සහතික කර ඇත.

කාන්තා අංශයෙන් ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් 2026 ICC කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දැක්වූ දක්ෂතා මත දැනටමත් ඔලිම්පික් වරම් දිනාගෙන තිබේ.

සත්කාරක ඇමරිකා එක්සත් ජනපදයට ශ්‍රේණිගත කිරීම්වල මුල් 15 දෙනා අතර රැඳී සිටීමෙන් සෘජු සුදුසුකම් ලැබිය හැකි අතර, බටහිර ඉන්දීය කොදෙව් කලාපය වෙනුවෙන් විශේෂිත කැරිබියන් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වේ.

ඉතිරි අවසන් කණ්ඩායම් තේරීම සඳහා 2027 වසරේදී විශේෂිත ICC ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් රටවල් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම ඔලිම්පික් තරගාවලියේදී එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් කළ හැකි අතර, කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ දෙකකට බෙදා මූලික වටය පැවැත්වේ.

ඉන් අනතුරුව ප්‍රතිවිරුද්ධ කාණ්ඩයේ කණ්ඩායම් සමඟද තරග වැදීමට අවස්ථාව හිමිවේ.

සමස්ත තරගාවලිය පුරා පිරිමි සහ කාන්තා තරග 28 ක් පොමෝනා (Pomona) හි පිහිටි සුවිශේෂී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අවසානයේ දක්ෂතම කණ්ඩායම් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් සඳහා තරග කරනු ඇත.