October 5, 2026

සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීතිවිරෝධී වත්කම් අත්පත් කර ගැනීම (මුදල් විශුද්ධිකරණය) යන චෝදනා මත ප්‍රමුඛ පෙළේ ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ 37 හැවිරිදි වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සූදානම් වන බව විශ්වාස කටයුතු පොලිස් ආරංචි මාර්ග පවසයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ක්‍රියාත්මක වන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල නායකයන් රැසක් සමග සෘජු සබඳතා පවත්වා ගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මීට පෙර ප්‍රචණ්ඩකාරී අපරාධ සම්බන්ධයෙන් දෙවරක් සිරදඬුවම් විඳ ඇති මොහු, පසුව සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට යොමු වී ඇති බව පැවැසේ.

පසුගිය අගෝස්තු 1 වැනිදා රත්මලාන ගුවන්තොටුපළ හන්දිය අසල කඳවල පාරේදී, යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් 57 හැවිරිදි ජාතුංග ප්‍රියන්ත නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ද මෙම සැකකරු ආධාර අනුබල දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මොහු හෙරොයින්, ‘අයිස්’, කුෂ් සහ හෂීස් වැනි මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ බෙදාහැරීමට ප්‍රදේශයේ ගෝලයන් යොදවා ගෙන තිබේ. පොලිස් විමර්ශනවලට අනුව චූවා සමන්ත, කුඩු අවිශ්ක (කළුබෝවිල අවිශ්ක), රසල් ස්මිත්, ඉහළගමගේ දර්ශන (I.D.) සහ පණ්ඩිතගේ ශාන්ත කුමාර (කොස් මල්ලී) යන විදේශගත සහ දේශීය පාතාල ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාලයන් සමග මොහු කටයුතු කර ඇතැයි පැවැසේ.

එසේම, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන මුදල් විශුද්ධිකරණය කිරීමේ සහ සඟවා තැබීමේ ක්‍රියාවලියට ද මොහු සම්බන්ධ වී ඇති අතර, අල්ලස් ලබාගනිමින් මොහුට උපකාර කළ දූෂිත පොලිස් නිලධාරීන් කිහිපදෙනකු පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

රැස්කරගත් සියලු සාක්ෂි තහවුරු කර ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන විට කටයුතු යොදමින් සිටී.

(මූලාශ්‍රය – Sunday Island)