November 9, 2026

අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්මට එරෙහිව සත්‍යග්‍රහයක නිරතවන බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු භික්ෂූන් පස්නමකට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද (09) නියෝග කළේ, අදාළ භික්ෂූන් පස්නමට එළඹෙන නොවැම්බර් 20 වැනි දින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසය.

මෙසේ නොතීසි නිකුත් කර ඇත්තේ බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිළිමතලාවේ රේවත සහ දෙණියායේ සෝරත යන භික්ෂූන් වෙතය.

යෝජිත අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම හකුළාගන්නා ලෙස රජයට බලකරමින් මෙම භික්ෂූන් පිරිස රුවන්වැලිසෑ පරිශ්‍රය අසල මෙලෙස සත්‍යග්‍රහයක නිරත වෙති.

සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වමින් අනුරාධපුර පොලිසිය විසින් නොවැම්බර් 7 වැනි දින ලබාගෙන තිබූ තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත්කළේය.

භික්ෂූන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සමන් ගලප්පත්ති සහ නීතිඥ කාලිංග රවීන්ද්‍ර අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, මෙම නියෝගය ලබාගැනීමට පොලිසිය අධිකරණය නොමඟ යවා ඇති බවයි.

මෙම සත්‍යග්‍රහය පැවැත්වෙන්නේ රුවන්වැලිසෑ මළුව තුළ නොව දන්සල් සඳහා භාවිත කරන භූමියේ බවත්, එමගින් මහජනතාවට බාධාවක් සිදුනොවන බවත් ඔවුහු තර්ක කළහ.

මෙම තහනම් නියෝගය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් එය ඉවත්කරන ලෙසද නීතිඥවරු ඉල්ලා සිටියහ.

කෙසේවෙතත්, මෙම සත්‍යග්‍රහය හේතුවෙන් මහජනතාවට පීඩාවක් සිදුවන බව පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මාල් රත්නායක අධිකරණයට දැනුම්දුන්නේය.

සත්‍යග්‍රහ භූමියෙන් ඉවත් වන ලෙස නොවැම්බර් 7 වන දින නිකුත් කළ අධිකරණ නියෝගයට භික්ෂූන් අවනත වී නොමැති බව පැවසූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, භික්ෂූන් අධිකරණය හමුවට කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

එමෙන්ම, සත්‍යග්‍රහය පැවැති ස්ථානයේ අශෝභන ලෙස හැසිරෙමින් පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වෙනත් සැකකරුවකු, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇති බවද පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම්දුන්නේය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ භික්ෂූන් පස්නමට නොවැම්බර් 20 වැනි දින අධිකරණයේ පෙනීසිටින ලෙස නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.